Saturday, May 18, 2024

General line - 0115112241

දකුණු පළාත් සභාවේ කාලගෝට්ටියක් (PHOTOS)

නිමල් අල්ගෙවත්ත - හබරාදුව




දකුණ පළාත් සභාවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ ඉවත් කිරීමට එරෙහිව අද (26) පැවති දකුණු පළාත් සභාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවය පළකර සභාවෙන් පිටව යාම නිසා  දකුණු පළාත් සභා සැසිවාරය මිනිත්තු 90 කට සීමා වී තිබෙනවා.

අද දිනයේ දකුණු පළාත් සභාව සභාපති සෝමවංශ කෝදාගොඩගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණා.

සභාව ආරම්භ කිරීමත් සමගම හිටපු අමාත්‍ය වීරසුමන වීරසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එම ප්‍රකාශය අවසනයේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් වීරසුමන අමාත්‍යවරයාගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විනාඩි කිහිපයක් විරෝධතාවයේ නිරත වී තිබෙනවා. 

අනතුරුව සභාවේ ඉතුරු වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා වූ කපිල දිසානයක විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉවත් වීමත් සමගම සභාවේ ඝණපුරණය නොමැති නිසා සභාව කල් දමන ලෙස ඉල්ලීමක් කළා.

පසුව සභාපතිවරයා විසින් දෙවතාවක් සීනුව නාද කිරීමෙන් පසු දකුණු පළාත් සභාවේ ඝණපුරණය වන මන්ත්‍රීවරුන් 19දෙනා සම්පුර්ණ වුණේ ඝණපුර්ණය නොමැති බව කියූ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කපිල දිසානායකද සමගින්. 

එජාප සභාවෙන් මදකට පිටතට ගිය මන්ත්‍රීවරුන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් විසින් රදවා තබා ගැනීම නිසා ඔවුන්ට සභාවට පැමිණීමට යම් කාලයක් ගතවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 

කෙසේ හෝ දෙවරක් සීනුව නාද කිරීමෙන් පසු ඔවුන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් මිදී සභාවට පැමිණි අතර ඒ අනුව මන්ත්‍රීවරුන් ගණන 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුව සභාව නැවත ආරම්භ වු අතර ඒ අවස්ථාවේ දී කපිල දිසානායක මන්ත්‍රීවරයා නැගිට සභාවෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

එසේ නැවත දකුණු පළාත් සභාව ආරම්භ වුවද න්‍යාය පත්‍රය අනුව සභාවේ කතා කිරීමට සිටි සියළු මන්ත්‍රී ඉවත්ව ගොස් සිටි නිසා ඉතා ඉක්මනින් න්‍යාය පත්‍රය අවසන් වුණා. 

ඒ අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් නැගිට ගොස් විනාඩි 10ක පමණ කාලයකින් පසුව දිනට නියමිත න්‍යාය පත්‍රය අවසන් වීම නිසා දකුණු පළාත් සභාව ලබන මස 10දින දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා.