Friday, October 18, 2024

General line - 0115112241

රෝහල්වල සේවයට පාසල් ගුරුවරුන්




රෝහලේ ගත වී දිගු කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීමෙන් වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව මහරගම අපේක්ෂා රෝහල ද ඇතුලුව විශේෂිත රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සිසු දරුවන්ට අදාළ විෂයන් ඉගැන්වීමේ කටයුතු වෙනුවෙන් වසරක සේවා කාලයකට ගුරුවරුන් එම රෝහල්වලට අනුයුක්ත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියේ.

වසරක කාලයක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්තව සිටි විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී නවක ගුරුවරුන් 05 දෙනාගේ වසරක සේවා කාලය අවසන් වීමත් සමග ඉදිරි වසරක කාලයක් සඳහා නවක ගුරුවරුන් 05 දෙනෙකු එම රෝහලට අනුයුක්ත කිරීම පසුගියදා සිදු කෙරුණා.

රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වී නැවත පාසලට ගිය විට අදාළ විෂයන් සම්බන්ධයෙන් සිදුවන අතපසු වීම නිසා බොහෝ අවස්ථාවලදී එම සිසුන් පාසලින් ගිලිහෙන්නන් බවට පත්වන බැවින් එම දරුවන්ට ඉගෙනුම් අවස්ථා ලබා දීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන දිවයිනේ හඳුනාගත් සෙසු රෝහල් සඳහා ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කොළඹ නාලන්දා විදුහලට අනුයුක්තව පත්වීම් ලැබ වසරක සේවා කාලයක් සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්ත කරනු ලැබ සිටින මෙම ගුරුවරුන් අතර සිංහල මාධ්‍ය ගුරුවරුන් 04 දෙනෙකු සහ එක් දෙමළ මාධ්‍ය ගුරුවරයකු ද වනවා.