Sunday, September 8, 2024

General line - 0115112241

සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලූ ජනපතිගේ අවධානයට




සමෘද්ධි නිලධාරීන් මුහුණදී සිටින ගැටලූ සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

 

දිවයින පුරා සමෘද්ධි නිලධාරින් මුහුණදී සිටින ගැටලූ පිළිබඳ මෙහිදී ජනාධිපති වෙත දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

 

සමෘද්ධි නිලධාරින්ගේ විශ්‍රාම වැටුප් ගැටලූව සහ 2014-01-03 වන දින සිට දෙපාර්තමේන්තුවේ නව සේවකයකු ලෙස අන්තර්ග්‍රහණය කළ නිලධාරින්ට අත්සන් කරන ලද ගිවිසුම අනුව වැටුප් අඩුකිරීමකින් තොරව ස්ථීර පත්වීම් ලබාදීම පිළිබඳව ද මෙහිදී ජනපතිගේ අවධානයට යොමුව තිබෙනවා.

 

ඊට අදාළ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා.

 

එමෙන්ම සමෘද්ධි නිලධාරින් සඳහා සුදුසු උසස්වීම් ක්‍රමවේදයක් සකස් කිරීම, පසුගිය අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට එක් කරන ලද රු 10,000 ලබා ගැනීම, රජය මගින් ක්ෂේත්‍ර නිලධාරින්ට ලබාදෙන රු 300ක ක්ෂේත්‍ර නිලධාරී දීමනාව සහ රු 2000ක ගමන් වියදම ලබා ගැනීම ආදි ගැටලූ පිළිබඳව ද මෙහිදී ඉල්ලීම් සිදු කළ අතර මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඒ පිළිබඳ ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළා.

 

ගනුදෙනුවලදී සිදුවන ප්‍රමාදය වළක්වා ගැනීමත්, කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහාත් සියලූම සමෘද්ධි බැංකු පරිගණක ගතකර, නවීකරණය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.