Wednesday, January 15, 2025

General line - 0115112241

අයාලේ යන කාන්තාවන් රඳවා ඇති මෙත් සෙවණේදී ගොළු අම්මා බිළිඳා මැරූ අයුරු හෙළිවූ හැටි 

අයිරංගි එදිරිසිංහ/ධරිත් පෙරේරා




 ගංගොඩවිල මෙත් සෙවණ රජයේ නිවර්තන නිවාසය තුළ අවුරුදු එකයි මාස හතරක්‌ වයසැති පිරිමි දරුවකු අභිරහස් ලෙස මියයාම සාහසික ඝාතනයක් බව වෛද්‍ය පරීක්ෂණය තුළින් අනාවරණය වී තිබෙනවා.

මියගිය බිලිඳාගේ ගොළු මව විසින් කිරි බෝතලයකින් හිසට පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි  මිරිහාන පොලිසිය පවසන්නේ.

සිද්ධියට අදාළව කථන ආබාධ භාෂා පරිවර්තකයකු මාර්ගයෙන් මියගිය බිලිඳාගේ ගොළු මවගෙන් තොරතුරක්‌ ලබා ගැනීමට උත්සාහ දැරුවද එය අසාර්ථක වූ බවද පොලිසිය පවසනවා.

අයාලේ ගැවසෙන කාන්තාවන් අධිකරණ නියෝග මත රඳවා තබා ගැනීමට මෙම නිවාසය භාවිතා කරනු ලබනවා.

ගොළු මව සිටි කාමරයේ සිටි තවත් මවකගෙන් සහ පාලිකාවකගෙන්ද සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

මෙම දරුවා මෙලෙස මියගොස්‌ තිබුණේ පසුගිය 29 වැනිදායි.

දරුවාගේ හිස, පපු ප්‍රදේශයේ තැලීම් තුවාල සලකුණු දක්‌නට ලැබීම නිසා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක උපාලි පෙරේරා එම මරණය නුගේගොඩ මහෙස්‌ත්‍රාත්වරයා හට යොමු කරනු ලැබුවා.

ඒ අනුව නුගේගොඩ මහෙස්‌ත්‍රාත්වරයා විසින් එම මරණයට අදාළ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරීට නියෝග කර ඇත්තේ.

මියගිය දරුවාගේ ගොළු මව විසිහතර හැවිරිදි තැනැත්තියක බවත් ඇයට නිරතුරුව කේන්ති යන බවත් ඇය මානසික රෝගාබාධයකින් පෙළෙන නැතැත්තියක බවද කරැණු අනාවරණය වී තිබෙනවා.

මියගිය දරුවාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ප්‍රසාදිනී සෙනරත් විසින් පවත්වනු ලැබුවා. 

ඒ අනුව මෙම මරණය හිසට හා පපුවට මොට ආයුධයකින් පහරදීම නිසා ඇතිවූ තැලීම් තුවාල හේතුවෙන් සිදුවූවක්‌ බව තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් මෙම සැකකාරියව අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.