Monday, May 6, 2024

General line - 0115112241

ටෙක්සාස් ප්‍රහාරයේ සැකකරු හඳුනා ගනියි (UPDATE)

නවෝද්‍යා ගමගේ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ දේවස්ථානයක් තුල සිදු කෙරුණු වෙඩි ප‍්‍රහාරයේ සැකකරු අමෙරිකානු හිටපු ගුවන් හමුදා සෙබළෙකු බවට අනාවරණ වී තිබෙනවා.

ඩෙවින් පී. කෙලි නම් වු සැකකරු 26 හැවිරිදි අයකු බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ.

ටෙක්සාස් ප‍්‍රාන්තයේ විල්සන් කෞන්ටි ප‍්‍රදේශයේ දේවස්ථානයක් තුළ මෙම වෙඩි තැබීම සිදු වුණේ එහි උදෑසන දේව මෙහෙය අතරතුරයි.

සිද්ධියෙන් පුද්ගලයන් 26 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව දැන් තහවුරු කරගෙන තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 20ක්.

-------------------------------

අමෙරිකාවට තවත් ප්‍රහාරයක් - 27ක් මරුට

(06-11-2017 05:37)

අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ විල්සන් කෞන්ටි ප‍්‍රදේශයේ දේවස්ථානයක් තුළ විවෘත වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

සිද්ධියෙන් පුද්ගලයන් 27 දෙනෙකුට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි එරට පොලිස් වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියා සිටියේ. තුවාල ලැබූ සංඛ්‍යාව 24ක්.

ඉරිදා දේව මෙහෙය සිදු කෙරෙන අවස්ථාවේදී එරට වේලාවෙන් උදෑසන 11.30ට පමණ එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබ තිබුණා.

වෙඩි ප‍්‍රහාරය එල්ල කරන වේලාවේ දේවස්ථානය තුළ පුද්ගලයන් 50කට වැඩි පිරිසක් සිට ඇති අතර මිය ගිය පිරිස අතර කුඩා දරුවන්ද සිටින බවයි වාර්තා වන්නේ. 

මේ වනවිට ජපාන සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිය නිල ට්විටර් වෙබ් අඩවියේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු බුද්ධි අංශ විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

වෙඩි තැබූ පුද්ගලයා පළා යමින් සිටියදී මිය ගොස් ඇතත් එය දිවි හානි කරගැනීමක් ද පොලිස් වෙඩි පහරින් සිදුවූවක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. 

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී ට‍්‍රක් රථයක් පදික මන්තිරුවකට ධාවනය කරවීමෙන් අයි එස් සංවිධානය එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණේ ඉකුත් නොවැම්බර් 01 වැනිදායි.