Thursday, May 2, 2024

General line - 0115112241

2018 අය වැය අද පාර්ලිමේන්තුවට

හර්ෂිකා සංජීවනී/මේනකා රත්නායක




2018 වසර සඳහා වූ අය - වැය කතාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවිර විසින් අද පස්වරුවේ අය - වැය කතාව ආරම්භ කිරීමට නියමිතයි.

ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 3982ක්.

සියලු ප‍්‍රදානයන් ද සහිතව එම වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් බවයි විසර්ජන පනත් කෙටුම්පතේ දැක්වෙන්නේ.

ඒ අනුව බිලියන 1807ක් වූ අය - වැය හිඟය පියවා ගන්නා ආකාරය අද ඉදිරිපත් කෙරෙන අය - වැය වාර්තාවෙන් විස්තර කෙරෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පැවසුවේ. අද ඉදිරිපත් කෙරෙන අය - වැයෙන් අධ්‍යාපනයට මුලික තැනක් ලබා දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව අය - වැයට පෙර ද ජනතාවට සහන රැසක් ලබා දී ඇති බවයි.

ජංගම දුරකතන බදු අඩු කිරීම, ඖෂධ මිල අඩු කිරීම, වාහන මිල අඩු කිරීම හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරිම ඒ අතරින් කිහිපයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.  

ඒ අනුව අය - වැය කතාවෙන් සිදු කෙරෙන්නේ පුද්ගල ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම බව ද අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න කියා සිටියා.