Wednesday, January 15, 2025

General line - 0115112241

සයිටම් විරෝධයට  පාසල් දරුවන් ගැනීම අර්බුධයක..සිසුන් දෙමාපියන් සාධාරණය ඉල්ලයි..ආතල් එකටත් ගිහින් -  (PHOTO/AUDIO)

සුගත් ධර්මප්‍රිය




සයිටම් විරෝධතා සඳහා පාසැල් සිසුන් නිල ඇඳුමින් යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට දෙමාපියන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

තම දරුවන් එවැනි විරෝධතා සඳහා සහභාගී වීමට නොසිටි බවත් කලින් සූදානම් කර තිබූ විරෝධතා පුවරු සිසුන් අතට දෙමින් බලහත්කාරයෙන් විරෝධතා සඳහා සහභාගී කරවා ඇති බවත් එම දෙමාපියන් පැමිණිලි කර තිබෙනවා.


හලාවත,ගම්පහ  සහ අනුරාධපුර වැනි ප්‍රදේශවල සිසුන් මේ සඳහා යොදාගෙන ඇති අතර කලින් සූදානම් කර තිබූ විරෝධතා පුවරු සිසුන් අතට දෙමින් විරෝධතා සඳහා එක්කරගෙන තිබෙනවා. 

මේ සම්බන්ධයෙන්  දෙමාපියන් ඇතැම් පොලිස් ස්ථාන වෙතද පැමිණිලි කර තිබෙනවා. 

එවැනි කටයුතු සඳහා  පාසැල් දරුදැරියන් පාසැල් කාලයේ දී මෙන්ම ඉන් පිටස්තර කාලයක දී හෝ නිළ ඇඳුමින් සහභාගී කරවා ගැනීම නොකළ යුතු බවයි මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති චක්‍රලේඛවල සඳහන් වන්නේ.


සයිටම් විරෝධී සටනට සහාය දක්වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ද  මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ  දේශපාලන වැඩවලට සිසුන් යොදා ගැනීම වැරදි කටයුත්තක් බවයි.

සයිටම් විරෝධී වැඩපිළිවෙලට තමන් සහාය දැක්වුවද ඊට  පාසල් සිසුන් යොදාගැනීමට තමන්  එකඟ නොවන බවත් ඔහු සඳහන් කර තිබුණා.

මේ අතර හිටපු මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා nethnews.lk සමග අදහස් දක්වමින් කියා සිටියේ මෙය නීති විරෝධී කටයුත්තක් බවයි.


ඒ සම්බන්ධයෙන් ඔහු දක්වන අදහස පහතින් ඇසිය හැකියි. 


මේ අතර සයිටම් විරෝධයට එක්ව සිටි පාසැල් සිසුන් රැසක් ද තමන් මුහුණ දුන් අත්දැකීම සිය පාසැල් ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

එක් සිසුවකු ලිඛිතව දැනුම්දී ඇත්තේ තමන්ට බලහත්කාරයෙන් පුවරුවක් සහ කොඩියක් අතට දුන් අතර "ආතල් එකට " බස් නැවතුම දක්වා ඒ සමග ගිය බවයි.

එම සිසුවා පහත පරිදි එහි සඳහන් කර තිබූණා.

"2017.11.07 දින අප පාසල නිමා වූ මොහොතේ ගේට්ටුව අසළට පැමිණියා. මන්ද අප නිවෙස් බලා යාම සඳහා බස් රථයකට ගොඩවීමටය. නමුත් අපි එළියට පැමිණීමෙන් පසු අයියලා අක්කලා කෑ ගසමින් උද්ඝෝෂණයක  යෙදෙන අයුරු දැක ගන්නට ලැබුණා. ඔවුන් අපට පවසා සිටියේ මෙය නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමේ කැරැල්ලක් බවයි. අප යාමට සැරසුනද ඔවුන් අප අතට බලහත්කාරයෙන් බෝඩ් එකක් සහ කොඩියක් ලබා දුන්නා. අපට අවශ්‍යව තිබුණේ පෙළපාලි කිරීමට නොවේ. පාරේ අයට පේන්න ආතල් එකක් ගැනීමට පමණි. මෙහි නියම අරුත නොදැන අප ඔවුන් හා සිනාසෙමින් පිටුපසින් ගොස් බස් නැවතුම්පොළට ළඟා වූ පසු ඉක්මනින් බසයට නැග ගෙදර ගියා."

(සිසුවාගේ අනන්‍යතාව  හෙළි කිරීමෙන් අප වැළකී සිටී.)