Friday, May 3, 2024

General line - 0115112241

අයවැයට පරිසරවේදියෙක් කොළ එළි දල්වයි

පසන් ද සිල්වා




පරිසර හිතකාමි සංවර්ධන උපායමාර්ග සදහා මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් වී ඇතැයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසනවා. දිගුකාලීනව සැලකීමේදී එය සාධනීය තත්ත්වයක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙම අයවැය ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කද පාදක කර ගනිමින් බව අයවැය කතාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර කියාසිටියා. එහි තේමාව ලෙස ප‍්‍රකාශ වුයේද නීල හරිත ආර්ථිකයක් යන්නයි. ප‍්‍රකාශිත මෙම අරමුණු අයවැයේ සැබෑ ලෙසම නිරූපනය වන්නේ දැයි නෙත් නිවුස් කළ විමසීමකදී නීතිඥ ජගත් ගුණවර්ධන ඉහත කරුණු දැක්වුවා.

පොලිතීන් සහ දුරකතන කුළුණු අධෛර්යමත් කිරීම සදහා ඉදිරිපත් කර ඇති යෝජනාද මෙහිදී අගය කෙරුණා. කෙසේවෙතත් එම යෝජනා ඵලදායීවීමට නම් කළයුතු තවත් දේවල්ද තිබෙන බවයි නීතිඥ ජගත් ගුණවර්ධන වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

පොලිතීන් සහ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය සදහා කිලෝග‍්‍රෑම් එකකට රුපියල් 10 ක නිෂ්පාදන බද්දක් පැනවීමට අයවැයෙන් යෝජනා කෙරුණා. කෙසෙල් පට්ටා, තාල වර්ගයේ පත‍්‍ර, කොහු, උණ බම්බු වැනි දිරාපත්වන අමුද්‍රව්‍ය භාවිත කරමින් මළු සහ ඇසුරුම් නිෂ්පාදනය කිරීමට පෞද්ගලික අංශය දිරිමත් කරන බවද අයවැය යෝජනාවල සදහන්. දිරාපත් වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා භාවිත කරන සියළු යන්ත‍්‍ර සූත‍්‍ර, අමුද්‍රව්‍ය සහ අතරමැදි භාණ්ඩ තීරු බදුවලින් නිදහස් කිරීම තවත් අයවැය යෝජනාවක්.

දුරකතන කුණුළු මත හදුන්වාදී ඇති නව බද්ද එක් කුළුණක් සදහා මසකට රුපියල් ලක්‍ෂ දෙකක් වනවා. එම බද්ද දුරකතන කුළුණු කි‍්‍රයාකරුවන් විසින් මාසිකව ගෙවිය යුතු බවද අයවැය යෝජනාවල සදහන්.