Saturday, May 4, 2024

General line - 0115112241

තවමත් හරි හැටි නොලැබෙන විගණකාධිපතිවරයාගේ වැටුප ගැන අලුත්ම කතාව

හර්ෂිකා සංජීවනී




විගණකාධිපතිවරයාගේ වැටුප තීරණය කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුත්තේ ජනාධිපති කාර්යාලය විසින් බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. විගණකාධිපතිවරයාගේ වැටුප සම්බන්ධයෙන්, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ නෙත් නිවුස් කළ විමසීමකදීයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය මේ බව පැවසුවේ. 

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් විගණකාධිපති ගාමිණී විජේසිංහ ඉකුත්දා කියාසිටියේ සිය වැටුප් ගැටලූවට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවයි. තමන් රාජ්‍ය සේවයේ කටයුතු කළේ නම් දැනට ලබන වැටුපට වඩා වැඩි වැටුපක් උපයා ගැනීමට හැකිවන බව ද ඔහු කියාසිටියා. මෙම තත්වය සිය විශ‍්‍රාම වැටුපට ද බලපෑමක් ඇතිකරන විගණකාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විගණකාධිපතිවරයාගේ වැටුප තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන්. ඊට අදාළ යෝජනාව අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ යුතු බවයි විගණකාධිපතිවරයා පැවසුවේ. අදාළ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් නෙත් නිවුස් අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් තොරතුරු විමසා සිටියේ ද ඒ අනුවයි.

නෙත් නිවුස් කළ මෙම විමසීමට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලය ලබාදුන් ප‍්‍රතිචාරයට අනුව විගණකාධිපතිවරයාගේ වැටුප තීරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස 03 වනදා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාව කැබිනට් මණ්ඩලයේදී අනුමත වූ බව ද අග‍්‍රාමාත්‍ය කාර්යාලය ලබාදුන් ප‍්‍රතිචාරයේ සඳහන්. එහෙත් ඊට අනුව ගෙවීම කළහොත් විගණකාධිපතිවරයාට අවාසි සහගත වන බවට විගණාකාධිපති දෙපාර්තමේන්තුව ලිඛිතව දැනුම් දී තිබු බව ද ඒ අනුව අදාළ ප‍්‍රශ්නය නිරාකරණය කර සුදුසු පරිදි යළි කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම ජනාධිපති කාර්යාලය විසින් සිදු කළ යුතු බව ද අග‍්‍රාමාත්‍ය කාර්යාලය කියාසිටියා. මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක්ද යන්න පිළිබඳ නෙත් නිවුස් මේ වනවිට ජනාධිපති කාර්යාලයෙන් ද විමසීමක් කර තිබෙනවා.