Thursday, January 16, 2025

General line - 0115112241

මැතිවරණය කල් දමන්නැයි නඩු දමා ඇත්තේ ප්‍රධාන පක්ෂයකම පිරිසක්




සීමා නිර්ණය පිළිබද සමාලෝචන කමිටුවේ වාර්තාව  ප්‍ර‍තික්ෂේප කරන ලෙස ඉල්ලා ඡන්දදායකයින් 6 දෙනෙකු විසින් අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් වූ පෙත්සම පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීම සදහා වන අලුත්ම උපක්‍ර‍මය ලෙස සැලකිය හැකි බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසනවා.

මෙම නඩුවේ පෙත්සම්කරුවන් ලෙස කටයුතු කරන්නේ ශ්‍රීලනිපයේ එක් කණ්ඩායමක් සමීපව ඇසුරු කරන මහනුවර, හාලිඇළ, ඇඹිලිපිටිය, දෙණියාය පදිංචිකරුවන් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සම්පූර්ණ නිවේදනය පහතින් පලවේ.
 

ඡන්දදායකයින්ගේ පෙත්සම පළාත් පාලන ඡන්ද විමසීම
කල්දමා ගැනීම සදහා උපක්‍ර‍මයක්?
නාමයෝජනා කැදවීමේ ගැසට් පත්‍ර‍ය මුද්‍ර‍ණයට පෙර ඡන්දය අවුල්  විය හැකියි!

ඡන්දදායකයින් 6 දෙනෙකු විසින් සීමා නිර්ණය පිළිබද සමාලෝචන කමිටුවේ වාර්තාව  ප්‍ර‍තික්ෂේප කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් වූ පෙත්සම පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීම සදහා වන අලුත්ම උපක්‍ර‍මය ලෙස  සැලකිය හැකිය.

අශෝක පීරිස් මහතා ගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවේ වාර්තාව බල රහිත කරන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා ඇත්තේ 2017 නොවැ. 10 දින ය.  එහි පැමිණිලිකරුගේ පිටපත පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයට 2017 නොවැ. 13 දින ලැබී තිබුණි. පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ එම නඩුව නොවැ. 13, 14, 15 දිනයන් ගෙන් එකක විභාගයට ගන්නා ලෙස ය.  

පුදුමයකට මෙන් මෙම නඩුවේ වගඋත්තරකරුවන් බවට පත් කොට ඇති පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් හෝ අමාත්‍යවරයා  මෙම නඩුව පිළිබදව 2017 නොවැ. 15 දින දහවල් දක්වා නීතිපතිවරයාට දැනුම්දීමක් සිදු කර නොතිබුණි.   

එයටත් වඩා පුදුමය වී ඇත්තේ නොවැ. 13 දින පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නීති නිලධාරිණී ගයනී මහත්මිය  විදේශගතවීමය.  (පළාත් පාලන ආයතනයන් හි සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් පත්‍ර‍යට අමාත්‍යවරයා අත්සන් තිබීමෙන් පසුව මුද්‍ර‍ණාලයාධිපතිවරයාගෙන් එහි සොදු පත් ඉල්ලා සිටි කමල් පද්මසිරි ලේකම්වරයා ද මෙලෙසම විදේශගත වූයේ සෝදුපත් බැලීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් තොරවය. )  ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා සහ කමල් පද්මසිරි ලේකම්වරයා පමණක් වගඋත්තරකරුවන් කර ඇති මෙම නඩුව පිළිබද අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් පවා ඊයේ වන තුරු කිසිවක් දැන නොදනී.

මෙම නඩුවේ පෙත්සම්කරුවන් ලෙස කටයුතු කරන්නේ ශ්‍රීලනිප යේ එක් කණ්ඩායමක් සමීපව ඇසුරු කරන මහනුවර, හාලිඇළ, ඇඹිලිපිටිය, දෙණියාය පදිංචිකරුවන් ය. 

මෙම නඩුවෙන් ඉල්ලා ඇත්තේ අශෝක පීරිස් සීමානිර්ණය සමාලෝචන කමිටු වාර්තාව මත පදනම්ව ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා විසින් ප්‍ර‍කාශ කරන ලද 2017 පෙබ. 17 ගැසට් පත්‍ර‍ය අවලංගු කරන ලෙසයි.  අශෝක පීරිස් කමිටුවට බහු ආසන ඇති කිරීම, වෙනස් කිරීම සදහා බලයක් නොමැති බව පෙත්සමින් කියවේ.

අශෝක පීරිස් කමිටු වාර්තාව නිකුත්වී මාස 9 ක් ගතවීමෙන් පසුව ඉදිරිපත් වූ මෙම පෙත්සම ඡන්දදායක අයිතිය සුරැකීමට වඩා ඡන්ද කල් දමාගැනීමේ උත්සාහයකට වඩාත් සමීප බවට ඇති මතය බැහැර කළ නොහැකිය. 

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
2017 නොවැම්බර් 16