මන්නාරම අධිකරණය ඉදිරිපිට අද උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් පාතාල සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
තුවාලකරුවන් ඇතුළත් කර ඇත්තේ මන්නාරම රෝහලටයි.
එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මන්නාරම අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකට පෙනී සිටීමට පැමිණි පිරිසක්.
මෙම සිද්ධිය පිටුපස පාතාල කල්ලි දෙකක ගැටුමක් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
2022 වසරේ මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේදී “දාසන්” නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ සහෝදරයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබුණා.
ඊට ප්‍රතිචාර දක්වමින් 2023 වසරේදී “ජූඩ්” නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ සමීපතමයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළා.
2022 වසරේ සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණේ ද “ජූඩ්” නැමති පාතාල කල්ලි සාමාජිකයාටයි.
එම සිද්ධියට අදාල නඩුව අද කැඳවා තිබූ අතර ඊට පෙනී සිටීම සඳහා 21 දෙනෙකු අධිකරණයට පැමිණෙමින් සිටියා.
ඒ අවස්ථාවේදී යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් ඔවුන්ට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
සිද්ධියෙන් මියගිය දෙදෙනා අතර “ජූඩ්” නැමති පාතාල කල්ලි සාමාජිකයා ද සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. කලෙක පටන් මන්නාරම, උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුම හේතුවෙන් මේ වන විට දිවි අහිමි වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 06ක්.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.