Thursday, May 9, 2024

General line - 0115112241

අර්ජුන් ඇලෝසියස් සමග දුරකතන සංවාද පැවැත්වූ මැති ඇමතිවරු දැන් කියන කතාව

තරංග රුක්ෂාන් ජයසේකර




පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාද ඇතිවුවද ඔහුට කිසිදු උපකාරයක් සිදු නොකළ බව අමාත්‍ය දයාසිරි ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා. කෝප් කමිටුවේ සාමාජිකයින් ද වන ඔවුන් ඇතුළු කමිටු සාමාජිකයින් පස් දෙනෙකු ඇලෝසියස් සමග දුරකතන සබඳතා පවත්වා ඇතැයි ඊයේ (16) අනාවරණ වුණා. ඒ, බැඳුම්කර කොමිසමට ඉදිරිපත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සන්නිවේදන විශ්ලේෂණ වාර්තාවක් මගින්.

සන්නිවේදන සමාගම්වලින් සහ ඇලෝසියස්ගේ දුරකතනයෙන් උපුටාගත් දත්ත උපයෝගී කර ගනිමින් එය සකස් කර තිබුණා. වාර්තාවෙන් දක්වා තිබුණේ කෝප් කමිටුව විසින් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශන කරන අතරතුර මෙම දුරකතන සංවාද ඇතිවී තිබෙන බවයි. අර්ජුන් ඇලෝසියස් සහ අමාත්‍ය දයාසිරි ජයසේකර අතර ඇති වී තිබෙන දුරකතන සංචාද ගණන දෙකක්. 

මෙවැනි දුරකතන සංවාද හේතුවෙන් බැඳුම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනය කළ කෝප් කමිටුවේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුවක් මතු නොවන්නේදැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ දුරකතන සංවාද නොපැවැත්වූ බවය. අවස්ථා දෙකකදී දුරකතනයෙන් අමතා තමා හමුවීමට අවස්ථාවක් අර්ජුන් ඇලෝසියස් ඉල්ලා සිටි බව පෙන්වා දුන්නා. ඔහු සහ ඔහුගේ පියා කාලයක් තිස්සේ තමා හඳුනන බවත්, පසුව අමාත්‍යංශයේදී හමුවූ බවත් අමාත්‍යවරයා පැවසුවා. එහිදී බැඳුම්කර සිද්ියේදී ඔවුන් නිර්දෝශි බව පවසමින් ඒ සම්බන්ධයෙන් පෙනී සිටින ලෙස ඉල්ලා සිට බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. කෙසේ නමුත් තමන් එවැනි කිසුදු උපකාරයක් නොකල බව හෙතෙම අවධාරණය කරනවා. 
 
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි සහ අර්ජුන් ඇලෝසියස් දුරකතනයෙන් සම්බන්ධ වී ඇති අවස්ථා ගණන 23ක්. මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට හෙක්ටර් අප්පුහාමි මන්ත‍්‍රීවරයා ද සම්බන්ධ කර ගැනීමට නෙත් නිවුස් වෙත හැකි වුණා. අර්ජුන් ඇලෝසියස් සමග කිසිදු සබඳතාවක් පවත්වා නොමැතිදැයි මන්ත‍්‍රීවරයාගෙන් මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

එහිමී ඔහු පවසා සිටියේ අර්ජුන් ඇලෝසියස් කලක සිට දන්න හඳුනන අයෙකු බවය. මෙම සිදුවීමට පෙරත් පසුවත් ඔහු සමග දුරකතනයෙන් කතා බහ කර ඇති නමුත් කෙතරම් වාර ගණනක් කතා කලාද යන්න තමන් නොදන්නා බවයි ඔහු පැවසුවේ. කෙසේ වෙතත් ඒ කිසිදු කතාබහකින් කෝප් කමිටුවේ විමර්ශනයට බලපෑමක් නොවූ බව මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.



අමාත්‍ය දයාසිරි ජයසේකර හා හෙක්ටර් අප්පුහාමි මන්ත‍්‍රීවරයාට අමතරව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියේජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා ද ඇලෝසියස් සමග දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වෙන්නේ. රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ හා අර්ජුන් ඇලෝසියස් අතර සිදුව ඇතැයි කියන දුරකතන සංවාද ගණන 62ක්. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හා අර්ජුන් ඇලෝසියස් අවස්ථා 02ක දී දුරකතනයෙන් සම්බන්ධ වී තිබෙනවා. තවත් කෝප් කමිටු සාමාජිකයෙකු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා අර්ජුන් ඇලෝසියස් සමග අවස්ථා 23ක දී දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බවයි අදාළ වාර්තාවෙන් ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අතර ඇති වූ බවට අනාවරණ වූ දුරකතන සංවාද පිළිබඳ පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇතිවුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමත් සමගයි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගෙන් ඊට පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ.