දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රට වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ක් පමණ දක්වා ද වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මේ නිසා මුහුද ඉතා රළු විය හැකි බව ද ප්‍රකාශ කෙරුණා. ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ වඩා විමසිලිමත් විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
බොහෝ ගොඩබිම් ප්‍රදේශවල සහ රටවටා බොහෝ මුහුදු ප්‍රදේශවල ද අද (29) තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර මාතලේ සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයාමේ, බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරලීමේ සහ පොළොව ගිලාබැසීමේ අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල - පල්ලේගම සහ ඇල්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් මෙම අනතුරු ඇඟවීම අදාළ වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
ඒ අනුව නායයාමක පූර්ව ලක්ෂණ හඳුනා ගතහොත් වහාම ඉවත් වන ලෙස එම ප්‍රාදේශීය කොට්ඨාශවල වැසියන්ගෙන් ඉල්ලීමක් ද කෙරෙනවා.