කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක දැරියක් ගැබ්ගෙන ඇතැයි පවසමින් ඇය පාසලෙන් ඉවත්කිරීමට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ආරම්භ කරන ලද විමර්ශනයේ වාර්තාව මේ වන විට නීතිපති උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.
කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියක බඩගින්නේ සිටීම නිසා වමනය යෑම හේතුවෙන් ඇය ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් පාසලින් ඉවත් කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වුණා.
ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ එම පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් කිහිපදෙනෙකුටයි.
මෙහිදී අදාළ දියණිය අස්ථාන චෝදනාවක් මත පාසලෙන් ඉවත් කර මානසික අපයෝජනයට පත්කිරීම හේතුවෙන් 1995 අංක 22 දරණ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනතේ 308 අ වගන්තිය යටතට ගැනෙන වරදක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධව හා ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නීතිපති උපදෙස් විමසා තිබෙනවා.
මෙම සිදුවීමට අදාළව නීතිපතිතුමාගෙන් ලැබෙන උපදෙස් මත ඉදිරි කටයුතු තීරණය කරනු ඇති.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය සිදු කළ අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් තහවුරු කර ඇත්තේ අදාළ දියණිය ගැබ්ගෙන නැති බවටත් කිසිඳු ලිංගික අපයෝජනයක් සිදුව නොමැති බවයි.
මෙම සිදුවීමට අදාළව විමර්ශන නිලධාරීන් විසින් අදාළ දියණිය, ඇගේ මවුපියන් ඇතුලු සියළු පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.