Saturday, January 18, 2025

General line - 0115112241

ගෝඨා අත්අඩංගුවට ගැනීම වැළකෙයි

අධිකරණ වාර්තාකරු




ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොලිසිය පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ ලබන 06 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදියි. 

ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 90ක් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ චෝදනා ලබා සිටිනවා.

මේ සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවයි රිට් පෙත්සමක් ගොනු කරමින් ඔහු අභියාචනාධිකරණය හමුවේ ඊයේ (28) කියාසිටියේ. එහිදී පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීමට සූදානම් වන බවට ද අදාළ පෙත්සමෙන් කරුණු දක්වා තිබුණා.

එහෙත් ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සමග ඇත්තේ සිවිල් ගිවිසුමක් බැවින් ඒ සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ කටයුතු කළ නොහැකි බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අභියාචනාධිකරණය හමුවේ කියාසිටියේ. 

නීතිපතිවරයා වෙනුවෙන් මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ අභියාචනාධිකරණ හමුවේ පෙනී සිටියා. ඇය කියාසිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර ඇති මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් අභියාචනාධිකරණය විසින් අද ලබාදෙන බවට තමන් දැනගත්තේ මාධ්‍යවලින් බවයි.

එහෙත් අදාළ නියෝගය ලබාදීමට පෙර වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස නීතිපතිවරයාගේ ද කරුණු විමසීමට තිබූ බව ඇය කියාසිටියා. 

කෙසේවෙතත් අදාළ නියෝගය අද ලබාදෙන බවට නියම කර ඇති බැවින් නියෝගය ලබාදෙන බවයි අභියාචනාධිකරණය පැවසුවේ. අභියාචනාධිකරණයේ සභාපති එල්.ඩී.පී. දෙහිදෙණිය සහ ශි‍්‍රයාන් ගුණරත්න යන විනිසුරුවරුන් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනුණා.