ගල්ගමුව කහල්ලපල්ලකැලේ රක්ෂිතයෙන් අද (29) පසුවරුවේ සොයාගෙන ඇති ඇතාගේ සිරුරේ කොටස් අතුරුදන්ව සිටි ගල්ගමුව දල පූට්ටුවාගේ බවට තහවුරු වී තිබෙන බව වන ජීවි නිලධාරින් පවසනවා.
වන ජිවි නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය දින කිහිපය පුරා දල පූට්ටුවා සොයා මෙහෙයුමක් දියත්කර තිබුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඇතාගේ සිරුර අද පසුවරුවේ සොයා ගැනුනා.
--------------------
දළ ඇතෙකුගේ සිරුරක් ගල්ගමුව කැලෑවේ - ඒ දෙවරක්ම තුවක්කුවට බිළිවූ ඇස් අඳ දළ පූට්ටුවාගේ ද (29-11-2017 16:06)
දළ ඇතෙකුගේ බවට සැකකෙරෙන සිරුරක් ගල්ගමුව,කහල්ලපල්ලේකැලේ රක්ෂිතයෙන් සොයා ගෙන ඇති බව nethnews.lk වෙත වාර්තා වනවා.
එය ගල්ගමුව දළ පූට්ටුවාගේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි එම වාර්තා මගින් කියවුණේ.
ගල්ගමුව දළ පූට්ටුවා මරා දළ ගලවා ඇති අතර සිරුර වළදමා ඇති ස්ථාන සොයා මෙහෙයුමක් ඊයේ (28) ආරම්භ කරනු ලැබුවා.
ගල්ගමුව වනජීවී කලාපය අලි ඇතුන් බහුලව සිටින කලාපයක් වන අතර ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ආසියාවේ හොඳම ස්වාභාවික විල් ඇති විල්පත්තුව වනෝද්‍යානයට යාමට පොළොන්නරුවේ සෝමාවතී රක්ෂිතයේ සිට තිබූ අලිමංකඩ, ගල්ගමුව හරහා තිබීමයි.
මේ වනෝද්‍යානයට මෙරට වල්අලි දක්වන්නවූ මහත් රුචිකත්වය නිසා හබරණ කැලය, කලාවැව, බළලුවැව, කහල්ල, මහ සියඹලන්ගමුව, රැස්වෙහෙර, සියඹලන්ගමුව ඔය, බුදුරුවකන්ද, ගිරිබාව, හෙට්ටිආරච්චිගම, පුත්තලම් පාරේ 12 - 17 කණු අතර ප්‍රදේශයෙන් කලාඔය හරහා විල්පත්තුවට අලින් සංචරණය වීම සිදු වනවා.
ලංකාවේ සිටින දළ ඇතුන්ගෙන් වටිනාම දළ ඇතුන් සිටින්නේ ගල්ගමුව වනජීවී ආරක්ෂක අඩවියේ බැව් පැවසෙන අතර ගල්ගමුව, අඹන්පොල, නිකවැරටිය, කොටවෙහෙර, මහව, රස්නායකපුර, ඇහැටුවැව, ගිරිබාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ගල්ගමුව වනජීවී කලාපය නිර්මාණය වී තිබෙනවා.
එසේම මේ කලාපයේ තනිවම හැසිරෙන දළ ඇතුන් දහඅටදෙනකු සිටින බවද පැවසෙනවා.
දළ පූට්ටුවා මෙන්ම තනි දළ ඇති ඇතුන් දෙදෙනෙක් ද මෙහි සිටි අතර එක් ඇතෙකුගේ වම් දළයත් අනෙක් ඇතාගේ දකුණු දළයත් පිහිටා තිබෙනවා.
ගල්ගමුව දළ පූට්ටුවා වෙඩි ප්‍රහාරයකින් වම් පාදයේ සිදුවී ඇති තුවාලයක් නිසා කලක සිටි පීඩා විඳි අතර වයස අවුරුදු 43ක් පමණ වන මෙම සත්ත්වයාට දඩයක්කරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් අන්ධ වී සිටියා.
ගල්ගමුව දළ පූට්ටුවා සොයා දියත් කර තිබූ මෙහෙයුමේ දර්ශන පහතින් දැක්වෙනවා.