Saturday, January 18, 2025

General line - 0115112241

ආපදා රක්ෂණ අරමුදලෙන් එක් අයෙකුට රුපියල් දසදහසක් (UPDATE)

කසුන් කැලුම් /සුපෙම් මානගේ/රංජිත් රාජපක්ෂ/තරංග රුක්ෂාන්




පවතින අයහපත් කාලගුණයේ බලපෑමෙන් පුද්ගල මරණ 4ක් මේ වනවිට වාර්තා වී තිබෙනවා.

තවත් පුද්ගලයින් 23 දෙනකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා පැවසුවේ.

මේ අතර මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයන් හමුවේ විපතට පත් ජනතාවට රක්ෂණ වන්දි ලබා දෙන බවයි අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ.

ආපදා කළමණාකරන අමාත්‍යාංශයේදී මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත් වූණා.

ඒ අනුව එක් අයෙකුට ආපදා රක්ෂණ අරමුදල යටතේ රුපියල් 10000 ක් මුදාහැරීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 66කින් ආපදා වාර්තා වී තිබෙනවා.

-----------------------------

පහත් බිම් ජලයෙන් යට වෙයි (PHOTOS) (UPDATE)

(30-11-2017 09:42)

 

නිල්වලා ගඟ මාතර පානඳුගම ප්‍රදේශයෙන් පිටාර ගලා ඇති බවට වාර්තා වෙනවා.

මේ අතර කෙසෙල්ගමු ඔයද හැටන් ප්‍රදේශයෙන් පිටාර ගලා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ හේතුවෙන් නොර්වුඩ් සහ බගවන්තලාව ප්‍රදේශවල පහත් බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බවද සඳහන් කරනවා.

ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටු තුනක් ඊයේ (29) රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා.

කලු හා ගිං යන ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් ඇති නිසා ගංගා ආශ්‍රිතව පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට විමසිලිමත් වන්නැයි ද නිලධාරීන් උපදෙස් ලබා දෙනවා. 

මේ අතර ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 2ක් ද විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් බදුරලිය, මිල්ලනිය, ඉංගිරිය යන පහත්බිම්වල ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

(ඡායාරූපවලින් දැක්වෙන්නේ ඉහළ කොත්මලේ ආශ්‍රිත තත්ත්වය)

-------------------------------

අයහපත් කාළගුණය හේතුවෙන් 03ක් මරුට (UPDATE)

(30-11-2017 09:15)

 

පවතින අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වයත් සමග ඇති වූ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (29) මඩොල්සිම කුරුවිගොල්ල අම්බලම මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් හා ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එම යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූණා.

ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයා තුවාල බලා රෝහල් ගත කර තිබෙනවා.

තවද අධික වර්ෂාව සහ සුළං තත්ත්වය යටතේ ධාවනය වූ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් මතට ගසක් කඩා වැටීමේන් ද ලොරි රථයේ රියදුරු ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

කිරිබත්ගොඩ දෙස සිට වත්තල දෙසට ධාවනය වෙමින් පැවැති ලොරි රථයක් මෙම සිද්ධියට මුහුණ දුන් අතර ඉන් එහි එක් අයෙක් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. 

මේ අතර ඊයේ රාත්‍රියේ අම්බලන්ගොඩ කහව මුහුදු තීරයේ ධීවර කටයුතුවල යෙදී සිටි බෝට්ටුවක් පෙරළී යෑමෙන් එහි සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

-------------------------

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ස්ථානයකට පස් කන්දක් කඩා වැටේ (UPDATE)

(30-11-2017 09:00)

 

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය පවසනවා.

ඒ පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පස් කන්දක් කඩා වැටීමෙන්.

බෙරගල ප්‍රදේශයේදී මෙම පස් කන්ද මාර්ගයට කඩා වැටී ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර කොළඹ නගරය ආශ්‍රිතව මාර්ග අවහිරවිම්, ගස් කඩා වැටීම් පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා 0777313247 යන දුරකථන අංකය කොළඹ මහ නගර සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

-------------------------------------

බදුල්ලේ සහ රත්නපුරේ ස්ථාන කිහිපයකින් ජනතාවට ඉවත් වෙන්නැයි දන්වයි (UPDATE)

(30-11-2017 08:21)

නායයෑම් අවධානමක් මතුවී ඇති බැවින් බදුල්ල දිස්ත්‍රික්කයේ හඳුනාගත් ස්ථාන කිහිපයකින් ජනතාවට ඉවත් වෙන්නැයි නිවේදනය කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, බණ්ඩාරවෙල සහ ඒ අවට ජනතාව වෙත මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් බදුල්ල  දිස්ත්‍රික්කයේ කන්දමුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් රතු නිවේදන නිකුත් කර ඇති බවයි නායයෑම් පර්යේෂණ අංශය සඳහන් කළේ.

මේ අතර ගාල්ල, මාතර, නුවරඑළිය,මාතලේ,හම්බන්තොට,මොණරාගල, රත්නපුර හා බදුල්ල යන දිස්ත්‍රික්ක 08 සඳහා ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

---------------------------------

දැඩි සුළඟ දේපළ රැසකට හානි කරයි  - නායයෑමේ ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න (PHOTOS)

(30-11-2017 06:51)

පවතින අධික වැසි සහ තද සුළං හේතුවෙන් දිස්ත‍්‍රික් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා.

කොළඹ මෙන්ම ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්වලට ද දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

ගස් කඩාවැටීම හේතුවෙන් ඇතැම් මාර්ග ද අවහිර වී තිබෙනවා. ඊයේ (29) පස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම ප‍්‍රදේශවල විදුලි සැපයුම ද බිඳවැටුණා.

බදුල්ල දිස්ත‍්‍රික්කයට ද අධික වැසි හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. 

කොළඹ ප‍්‍රදේශ කිහිපයක මාර්ගවලට ද ගස් කඩාවැටීම් වාර්තා වනවා. කොළඹ තුරග තරග පිටිය අසල ඇති ගොඩනැගිලි කිහිපයක වහල ද ගැලවී ගොස් තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය අසල මාර්ගයේ දෙපස පිහිටි ගස් කිහිපයක අතු ද කඩාවැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

බොරැල්ල, බත්තරමුල්ල, රත්මලාන සහ තවත් ප‍්‍රදේශ කිහිපයක සවිකර තිබූ විශාල දැන්වීම් පුවරු කිහිපයක් ද කඩාවැටී තිබෙනවා.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 6කට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය අද රාත‍්‍රි 10.00 තෙක් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

රත්නපුර, මාතර, නුවරඑළිය, ගාල්ල, මාතලේ සහ බදුල්ල යන දිස්ත‍්‍රික්ක සඳහා මෙම නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

නායයාම් ලක්ෂණ දුටු වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියාසිටියේ.

(අයහපත් කාලගුණය සම්බන්ධ අද දවසේ පළ වූ අනෙක් පුවත් පහතින් දැක්වෙයි)

01 . පළාත් කිහිපයක අද පාසල් වසා දැමීමට හදිසියේ තීරණය කරයි

02. කොළඹ සිට කිලෝමීටර් 200ක් දුරින් පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වෙයි

03. අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට පණිවුඩයක්

04. අයහපත් කාලගුණය නිසා මත්තලට ගුවන් යානා දෙකක් ගොඩබස්වයි

05. තද සුළඟින් 17ක් තුවාල ලබයි

06. ගස් කඩා වැටී අවහිර වූ කොළඹ මාර්ග මෙන්න

07. විදුලිය බිඳ වැටීමට හේතු කියයි

08. ගස් කඩා වැටී දුම්රිය ධාවනයටත් බාධා කරයි