Sunday, May 19, 2024

General line - 0115112241

රුපියල් 10කටත් අඩුවෙන් දියහැකි ‘විදුලි ඒකකයකට’ රුපියල් 19ක් ගෙවන ගල් අඟුරු මාෆියාව මෙන්න




ගල් අඟුරු බලාගාරවලට එරෙහි ජනතාවගේ සහ පරිසරවේදීන්ගේ විරෝධය නොතකා තවත් ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීමට රජය සැරසෙන බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් සැකසු විශේෂ කැබිනට් පත්‍රිකාවට විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අත්සන් තබා ඇති බව සඳහන්.

අදාල කැබිනට් පත්‍රිකාව සකසා ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් පිරිසක් සහ විදුලිබල අමාත්‍යංශයේ නිලධාරින් දෙදෙනෙකු විසින්.

මෙම නිලධාරින් පිරිස මෙරට ගල් අඟුරු ප්‍රවර්ධනය කිරීමේ නියෝජිතයින් වශයෙන් ජපානයේ ගල් අඟුරු බලාගාර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය විසින් තෝරා ගත් පිරිසක් බවද හෙළි වී තිබෙනවා.

නොරොච්චෝලේ ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ගල් අඟුරු බලාගාරය මෙගා වොට් 600ක ධාරිතාවයකින් යුක්ත වනවා.

මේ බලාගාරය ඉදිකිරීම සදහා නොරොච්චෝලේ ලක් විජය බලාගාරය අවටින් තවත් ඉඩම් අක්කර 600ක් ලබාගැනීමට අදාල කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා.

නොරොච්චෝලේ බලාගාරය නිසා අවට මුහුද, වායුව, ජල පද්ධතිය ඇතුළු සමස්ත පරිසරය දුෂණය වෙමින් පවතින බව මේ වන විටත් තහවුරු වනවා.

මේ හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයට පරිසර බලපත්‍ර පිරිනැමීමද වයඹ පළාත් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නොරොච්චෝලේ බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම හේතුවෙන් ඊට එරෙහිව පරිසරවේදීන් හා අවට ප්‍රජාව ගොනු කළ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.

එසේ තිබියදීත් නොරොච්චෝලේ ප්‍රදේශයේ තවත් ගල් අඟුරු විදුලිබලාගාරයක් ඉදිකිරීම සඳහා රජය ක්‍රියා කරන්නේ කුමන පදනමක් මත ද යන්න සැකයක් ඇති බව බවයි පෙන්වා දෙන්නනේ.

සාම්පුර් ප්‍රදේශයේ මීට පෙර ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට නියමිත පැවති අතර ඊට එරෙහිව පැවති නඩුවකදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී එම් එස් බටගොඩ අධිකරණයට වාර්තා කර තිබුණේ සාම්පුර්හි ගල් අඟුරු බලාගාරයක් ඉදි නොකරන බවයි.

එවැනි තීන්දුවක් තිබියදී නැවත වරක් සාම්පුර්හි ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරිම සඳහා විදුලිබල අමාත්‍යංශය විසින් රජයට බලකිරීම පිටුපස ගල් අඟුරු මාෆියාව ක්‍රියාත්මක වන බව පෙනේ.

අනෙක් අතට මේ වන විටත් වඩා අඩු වියදම් විදුලි බලාගාර වශයෙන් ස්වභාවික වායු බලාගාර සුදුසුකම් ලබා තිබෙනවා.

වත්මන් මිල ගණන් අනුව ස්වභාවික වායු බලාගාරයක ඒකක පිරිවැය රුපියල් 14 ක් වන අතර ගල් අඟුරු බලාගාරයකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා රුපියල් 19ක් පමණ වැය වනවා.

මන්නාරම් ද්‍රෝණියේ මෙරටට අයත් වායු නිධි මගින් වායු නිෂ්පාදනය 2020 වසරේ සිට ඇරඹිමට නියමිතයි.

එම ස්වභාවික වායු වෙළදපොලට පැමිණිමත් සමග ස්වභාවික වායු බලාගාරයකින් රුපියල් 10කටත් වඩා අඩු වියදමකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කල හැකිය.

එසේ තිබියදී මෙගා වොට් 1200ක ධාරිතාවයකින් යුත් විශාල බලාගාර දෙකක් ඉදිකිරීම ආර්ථික හා පාරිසරික වශයෙන් විශාල හානියක්.