Friday, May 3, 2024

General line - 0115112241

'තේ' වෙනුවෙන් ජනපති ගන්න යන පියවර - කෘමියා ඇතුළු වුණේ කෙසේදැයි ඇමති හෙළිකරයි (UPDATE)

රංජිත් රාජපක්ෂ/ඩිල්ෂාන් මඩවල/ හේරත් ඒකනායක




රුසියාව විසින් ශී‍්‍ර ලංකාවේ තේ සඳහා පනවනු ලැබූ තාවකාලික තහනම ඉවත් කර ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා කියාසිටියේ මේ පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරන බවයි. මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ගේ සහාය ශී‍්‍ර ලංකාවට හිමිවනු ඇතැයි මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදි විශ්වාසය පළ කරනවා.

එබැවින් තහනම පිළිබඳ තේ කර්මාන්තයේ නිරත කිසිවෙකුත් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. ඒ, හපුතලේ අද (17) පැවති ජනහමුවක් අමතමින්. 

අදාළ ගැටළුවට වගකිව යුතු සමාගමට එරෙහිව සම්පූර්ණ පරීක්‍ෂණයක් සිදුකර නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කළේ.

මේ අතර වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකද නුවරඑළියේ අද පැවති උත්සවයක් අමතමින් රුසියානු තහනමට බලපෑ හේතු පිළිබද අදහස් පළ කළා. 

“කැප්රා කියන කෘමියෙක් අපේ තේ තොගයකට ඇතුල් වෙලා. ඒ නිසා රුසියානු රජය අපේ තේ ගැනීම තාවකාලිකව නතර කරලා. මෙය පුදුම සහගත දෙයක්. එම කැප්රා කියන කෘමියා ධාන්‍ය බෝගවලට සම්බන්ධ කෘමියෙක් ලෙසයි අපි විශ්වාස කරන්නේ. අපි හිතන විදියට තේ මණ්ඩලයේ මතය නම් මෙම කෘමියා වෙනත් වරායකින් ඇතුල්වෙන්න ඇතියි කියන එකයි." 

මෙම ගැටළුව රාජතාන්ති‍්‍රක මට්ටමින් විසදා ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.

රුසියාව යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම තේ ගැණුම්කරුවා වනවා. ශ‍්‍රී ලංකාව අපනයනය කරන තේ වලින් සියයට 25ක්ම මිළදි ගන්නේ රුසියාවයි. එය එරට මුළු තේ අවශ්‍යතාවයෙන් සියයට 23ක්. කෙසේවෙතත් ශ‍්‍රී ලංකාවේ තේ වලට රුසියාව පනවා ඇති තහනම හේතුවෙන් තේ කර්මාන්තයේ නිරත ලක්‍ෂ 3 කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල විය හැකි බවයි කඳුරට ජනතා පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වී රාධ ක‍්‍රිෂ්ණන් පෙන්වා දුන්නේ.

-------------------------------------------------

රුසියාවේ සිලෝන් ටී තහනමෙන්  ජාතික ආර්ථිකයට මරු පහරක්! ලක්ෂ 03කගේ රැකියා අවධානමේ (UPDATE)

(17-12-2017 10:28)

 

ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව පනවා ඇති තහනම තේ කර්මාන්තය ආශ‍්‍රිතව ආදායම් උපයාගන්නා වතු කම්කරුවන්ට ද ඍජු බලපෑමක් ඇති කරනවා. කඳුරට ජනතා පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වී රාධ ක‍්‍රිෂ්ණන් පෙන්වා දෙන්නේ අවම වශයෙන් පුද්ගලයින් ලක්ෂ 03කට ආසන්න පිරිසක් මේ නිසා බලපෑමට ලක්විය හැකි බවයි.  

වතුකම්කරුවන්ට පමණක් නොව ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව පනවා ඇති තහනම සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය කෙරෙහි ද කැපී පෙනෙන බලපෑමක් ඇති කරනු ඇති. මේ නිසා මෙම තහනම ඉවත් කරවා ගැනීමට ශ‍්‍රී ලංකාව කඩිනමින් කටයුතු කළ යුතු බව  ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ගාමිණී වීරසිංහ අවධාරණය කරනවා. 

ශ‍්‍රී ලංකාවේ තේවලට තහනමක් පැනවීමට රුසියාව තීරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ තොගයක තිබී කෘමි විශේෂයක් හමුවීම නිසායි. තේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ සෙසු වැවිලි නිෂ්පාදවලට ද රුසියාව තහනමක් පනවා තිබෙනවා. මෙම තහනම හෙට සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි. 

ශ‍්‍රී ලංකාවේ විශාලතම තේ ගැණුම්කරුවා වන්නේ ද රුසියාවයි. ශ‍්‍රී ලංකාව අපනයනය කරන තේවලින් සියයට 25ක්ම රුසියාව විසින් මිලදී ගන්නවා. එරට මුළු තේ අවශ්‍යතාවයෙන් සියයට 23ක් සම්පූර්ණ කෙරෙන්නේ 
ශ‍්‍රී ලංකාවේ තේවලින්. 
මෙම වසරේ පළමු මාස 09 තුළ ශ‍්‍රී ලංකාව රුසියාවට අපනයනය කර ඇති තේ ප‍්‍රමාණය කිලෝග‍්‍ර‍්‍රෑම් මිලියන 25ක්. එම`ගින් ශ‍්‍රී ලංකාව උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 19ක් පමණ වනවා. 

------------------------------------------------

රුසියාවේ තේ තහනම එකට එක කිරීමක්?

17-12-2017 06:28

ශ්‍රී ලංකාවේ තේවලට රුසියාවෙන් පනවා ඇති තහනම පිළිබඳ ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් ජනාධිපතිවරයා සමග ද සාකච්ඡා කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. මෙම තහනම ඉවත් කරවා ගැනීමට ගතයුතු ක්ෂණික ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකට උපදෙස් ලබාදුන් බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 

ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ තොගයක තිබී කෘමි විශේෂයක් හමුවීම නිසා ශ‍්‍රී ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදන මිලදී ගැනීම තාවකාලිකව තහනම් කිරීමට රුසියාව ඉකුත්දා තීරණය කළා. මෙම තහනම හෙට සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි. 
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයෙන්ද විමසීමක් කළා. එහෙත් රුසියාව විසින් පනවා ඇති අදාළ තහනම් සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මේ දක්වා නිල වශයෙන් තමන්ට දැනුම් දී නොමැති බවයි එහි සභාපති ජයන්ත ගඟරන්මාන පැවසුවේ.  
 

නෙත් නිවුස් මීට පෙර ශ‍්‍රී ලංකා තේ මණ්ඩලයෙන්ද  මේ පිළිබඳ විමසීමක් කළා. ඔවුන් පැවසුවේ ශ‍්‍රී ලංකාවෙන් අපනයනය කළ තේ තොගයක තිබී හමුවූ බව කියන කෘමි විශේෂය ධාන්‍ය තිබෙන ස්ථානවල සාමාන්‍යයෙන් හමුවන කෘමියෙකු බවයි. කෙසේ වෙතත් මෙම කෘමි විශේෂය සිට ඇත්තේ තේ තොගයේ නොව, ඒවා ප‍්‍රවාහන කළ බහාලූමේ බවද එම බහාලූම මීට පෙර ධාන්‍ය ප‍්‍රවාහනයට යොදාගෙන ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එමෙන්ම අදාළ බහාලූම් ශ‍්‍රී ලංකාවට අයත් එකක් නොවන බවයි ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ. 

මේ අතර ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව පනවා ඇති තහනම එකට එක කිරීමක් විය හැකි බවට අමාත්‍ය මනෝ ගනේෂන් සැක පළ කරනවා. වැවිලි කම්කරු සංගමයේ සභාපතිවරයා වන්නේ ද ඔහුයි. 

රුසියාව ශ‍්‍රී ලංකාවේ විශාලතම තේ ගැණුම්කරුවා වනවා. ශ‍්‍රී ලංකාව අපනයනය කරන තේවලින් සියයට 25ක්ම මිලදී ගන්නේ රුසියාවයි. එරට මුළු තේ අවශ්‍යතාවයෙන් සියයට 23ක් ශ‍්‍රී ලංකාවේ තේවලින් සම්පූර්ණ කෙරෙනවා. මෙම වසරේ පළමු මාස 09 තුළ ශ‍්‍රී ලංකාව රුසියාවට අපනයනය කර ඇති තේ ප‍්‍රමාණය කිලෝග‍්‍ර‍්‍රෑම් මිලියන 25ක්. එමගින් ශ‍්‍රී ලංකාව උපයාගෙන ඇති ආදායම රුපියල් බිලියන 19ක් පමණ වනවා.