Sunday, October 20, 2024

General line - 0115112241

වැලිකඩින් පනින්න අද අලුයම හතර දෙනෙක් කළ මෙහෙයුම

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් සිව් දෙනෙකු අද (03) අලුයම ඉන් පලායාමට තැත් කිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

කෙසේ වෙතත් එම උත්සහය ව්‍යර්ථ කිරීමට බන්ධනාගාර නියමකවරුන් පිිරිසක් සමත් වී තිබෙනවා.

බන්ධනාගාර ආරංචි පැවසුවේ 'වයි - ඕ' වාට්ටුවේ රඳවා සිටි මෙම පිරිස එහි ඉබි යතුරු කඩා අද අලුයම 2.30 ට පමණ පලා යාමට තැත් කර ඇති බවයි.

වැලිකඩ බන්ධනාගාර භූමියේ රාජකාරී සිදුකළ බන්ධනාගාර නියමකවරුන් පිරිසක් ඔවුන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රැඳවුවන් ළග තිබී යකඩ කූරු කිහිපයක්, බෙඞ්ෂීට් සහ කලිසම් කිහිපයක්ද මෙහිදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැණුනු රැඳවුවන් පාපොච්චාරණය කර ඇත්තේ යකඩ කූරුවලින් බන්ධනාගාර නිලධාරීන්ට පහරදී කලිසම් සහ බෙඞ්ෂීට් එකට ගෙට ගසා වැලිකඩ තාප්පයෙන් පැන යාමට සැලසුම් කළ බවයි.

අවුරුදු 23 සහ 24 වයස්වල පසුවන රැඳවූවන් සිව් දෙනා රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ තරුණයන් රඳවා සිටින 'වයි - ඕ' වාට්ටුවේයි.

ඔවුන් සොරකම් සහ මංකොල්ලකෑම්වලට චෝදනා ලබා අවුරුදු 7 සහ 8 ක කාලයක් සිරදඩුවම් නියමූ පිරිසක් බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

එම පිරිසෙන් එක් රැඳවූවෙකු මීට පෙරද වැලිකඩ බන්ධනාගාරයෙන් පලායාමට තැත් කර තිබුණා.

මේ අතර මහනුවර අධිකරණ භූමියේදී පලායාමට තැත් කළ සැකකරුවෙකුට වෙඩි තබා නැවත අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ (02) සමත් වුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මහනුවර මහරෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප‍්‍රතිකාර ලබනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවක් සඳහා එම සැකකරු මහනුවර අධිකරණයට රැගෙනවිත් ඇත්තේ දුම්බර බන්ධනාගාරයේ සිටයි.