Saturday, April 27, 2024

General line - 0115112241

ගාල්ලේ රාජ්‍ය ඇමති පොලිසියට පාට් දාලා




ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට දඩ පත‍්‍රිකාවක් ලබාදීමේ සිද්ධියකට, ගාල්ල දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ගාල්ල නාගොඩ පොලිසියේ නිලධාරීන් වෙත බැණවැදී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මෙම මස පළමු වැනිදා පොලිස් ස්ථානය ඉදිරිපිටට සිය ආරක්ෂක නිලධාරීන් ද සමග ජීප් රථයකින් පැමිණ ඇති රාජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේ නාගොඩ පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු ගෙන්වා එලෙස බැණවැදී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

අදාළ දඩ පත‍්‍රිකාව ලබාදී ඇති පුද්ගලයා සිය ආධාරකරුවෙකු බවත් තම රැස්වීමකට පැමිණෙමින් සිටියදී එලෙස දඩ පත‍්‍රිකාවක් ලබාදී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. නැවත එවැනි ක‍්‍රියා නොකරන ලෙසටද අදාළ රාජ්‍ය අමාත්‍යවරයා පොලිසියට බැණවැදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

කෙසේ වෙතත් වරදට සම්බන්ධ පුද්ගලයා මෙම සිද්ධියෙන් පසුව දඩ පත‍්‍රිකාව ගෙවා සිය රියදුරු බලපත‍්‍රය ලබාගෙන ගොස් ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ආර්. කරුණාකලගේ යටතේ පරීක්ෂණයක් ක‍්‍රියාත්මකයි. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරී කළ පොලිස් නිලධාරීන් සටහනක් තබා නොමැතිවීම හේතුවෙන් එම පරීක්ෂණ පවත්වාගෙන යාමේ ගැටළුවක් මතුව ඇතැයි ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණ කළා.