Tuesday, May 7, 2024

General line - 0115112241

තංගල්ල ධීවර වරාය ආශ්‍රිතව කිමිදුණු පුද්ගලයෙකුට හමු වූ දේ (PHOTO)

හේමන්ත කහවලගේ




නාරා ආයතනය මගින් නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගෙන තිබෙනවා.

මෙම නව විශේෂය මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවී ඇති සපත්තු පොකිරිස්සන්ගෙන් සහ කටු පොකිරිස්සන්ගෙන් වෙනස් විශේෂයක් බවයි එම ආයතනය පවසන්නේ.

Indo Pacific Furry Lobster නොහොත් Palinurellus wieneckii ලෙස හඳුනාගෙන ඇති මෙම නව පොකිරිස්සන් විශේෂය මීට පෙර දකුණු ඉන්දීය සාගරයේ හමුනොවූ බවද නාරා ආයතනයේ නිලධාරීන් ප‍්‍රකාශ කළා.

එහෙත් ජපානය, තායිලන්තය, සුමාත‍්‍රා දූපත්, සොලමන් දූපත් සහ රතු මුහුද ආශි‍්‍රතව මෙම පොකිරිස්සන් විශේෂය හමුවන බවයි වාර්තා වන්නේ.

ධීවර කර්මාන්තයට වැඩි දායකත්වයක් නොදුන්නද ධීවර දැල්වල පැටලීම සහ කිමිදුම්කරුවන්ගේ ග‍්‍රහණයට ලක්වීම හේතුවෙන් මෙම නව පොකිරිස්සන් විශේෂය වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටිනවා.

ඒ හේතුවෙන් මෙම නව පොකිරිස්සන් විශේෂය රතු ලැයිස්තුවටද ඇතුළත් කර ඇති බවයි වාර්තා වුනේ.

ශී‍්‍ර ලංකාවෙන් බහුලව හමුවන කටු පොකිරිස්සන් විශේෂයට වඩා මෙම නව පොකිරිස්සන් විශේෂය ප‍්‍රමාණයෙන් කුඩා වන අතර ශීර්ෂය ඕවලාකාර හැඩයකින් යුක්ත වනවා. රතු සහ තැඹිලි පැහැයෙන් යුත් මෙම නව පොකිරිස්සා පූර්ව පාද යුගය අනෙක් පාදයන්ට සාපේක්ෂව ප‍්‍රමාණයෙන් විශාල බැවින් පහසුවෙන් හඳුනාගත හැකි බවයි නාරා ආයතනය සඳහන් කළේ. 

කොරල්පර සහිත නොගැඹුරු මුහුදු තීරයේ වාසය කරන මෙම පොකිරිස්සන් විශේෂය තංගල්ල ධීවර වරාය ආශ‍්‍රිතව හමුවූ බව නාරා ආයතනය පැවසුවා.

අදාළ ධීවර වරාය ආශ්‍රිතව කිමිදුම් කටයුතුවල නිරත පුද්ගලයෙකු විසින් මෙම පොකිරිස්සාව ප්‍රථමයෙන් දැක තිබෙනවා.