Tuesday, May 7, 2024

General line - 0115112241

"බාල වයස්කාර බිරිඳගේ උකුලේදීම බිළිඳිය අමානුෂික ලෙස ඝාතනය කළ සැමියා" - සඟවා සිටි තැනින් පැනගත් බිරිඳ සියල්ල හෙළි කරයි

කාංචන කුමාර ආරියදාස




මාස එකහමාරක් පමණ වයසැති කුඩා බිළිඳියක් අමානුෂික ලෙස ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අදාළ බිළිඳියගේ බාල වයස්කාර මව විසින් ඊයේ (24) රාත්‍රියේ පොලිසියට පැමිණි මේ බව හෙළි කර තිබෙනවා.

ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් මාඔය ප්‍රදේශයේ පියෙකු විසින් තම සිඟිති දියණිය මෙසේ ඝාතනය කොට ඔහුගේ මව සමග එක්ව කැලෑවේ වළ දමා ඇති බවයි මෙහිදී පවසා ඇත්තේ.

බාල වයස්කාර මව ඊයේ රාත්‍රියේ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න හමුවී මේ බව හෙළි කිරීමෙන් පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා අදාල බාල වයස්කාර මව ලග්ගල පොලීසියට භාරදී තිබෙනවා.

මීට වසර කිහිපයකට ඉහත දී බාල වයස්කාර මෙම මව ප්‍රේම සම්බන්ධතාවයක් මත තරුණයෙකු සමග විවාහ නොවී එක නිවසක ජීවත් වී ඇති අතර එහිදී නීතිමය පියවර ගැනීමෙන් පසු ඇයව පරිවාස භාරයේ තබා තිබෙනවා.

එහිදී රිමාන්ඩ් භාරයේ සිට ඇප මත නිදහස් වූ තරුණයා නැවත වරක් මෙම බාල වයස්කාර තරුණියව රැගෙන ගොස් ලග්ගල මාඔය ප්‍රදේශයේ නිවසකට ගෙන ගොස් ජීවත්ව තිබෙනවා.

ඒ අතරතුරදී බාල වයස්කාර මෙම තරුණිය ගැබ්ගෙන දියණියක් බිහිකර තිබුණා. පසුව දියණියට මාස එකහමාරක් පමණ ගතවෙද්දී පසුගිය ජනවාරි මාසයේ දිනක අඹු සැමි යුවළ අතර බහින් බස්වීමක් ඇතිවී එය ගැටුමක් බවට පත්ව  සැමියා විසින් තම උකුලේ නිදාගෙන සිටි දියණියගේ හුස්ම හිර කොට ඝාතනය කර සැමියාගේ මව සමග එක්ව කැලෑවට රැගෙන ගොස් වළ දැමූ බවයි ඇය පොලිසියට හෙළි කර ඇත්තේ.

මෙම ඝාතනය පිළිබඳව පොලිසියට ප්‍රකාශ කළහොත් තමන්වත් මරා දමන බවට බිය ගන්වා සැමියා සහ සැමියාගේ මව විසින් ඇයව මාස එකහමාරක පමණ කාලයක් වෙනත් ප්‍රදේශයක බලහත්කාරයෙන් රඳවාගෙන සිට තිබෙනවා. 

තමන් සැමියාට සහ නැන්දම්මාට හොරෙන් ඊයේ (24) දින රාත්‍රියේ සඟවා සිටි ස්ථානයෙන් පැන දඹුල්ල පොලිසියට පැමිණි බවයි ඇය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව එදින රාත්‍රියේම වහා ක්‍රියාත්මක වූ ලග්ගල පොලිසියේ ස්ථානාධිපතිවරයා දුම්මලසූරිය පොලීසියට මේ බව දැනුම් දී බාල වයස්කාර මව සිරකර ගෙන සිටි ස්ථානය වැටලීමක් කොට සැකකාර පියා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගත්තා.

මේ වන විට හෙළි වූ කරුණු මත අදාළ බිළිඳිය අමානුෂික ලෙස ඝාතනය කර වළදැමූ ස්ථානයෙන් බිළිඳියගේ දේහය ගොඩ ගැනීම සඳහා පියවර ගනිමින් සිටිනවා.