ඇස්බැස්ටස් පිළිබඳව ඇතැම් පිරිස් සහ ඊනියා විද්‍යාඥයින් සිය මනඃකල්පිත අදහස් ප්‍රකාශ කරමින් රටේ ජනතාව නොමග යවමින් සිටින බව ෆයිබර් සිමෙන්ති භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටස් පිළිබඳව ඇත්තේ මිථ්‍යා සංකල්පයක් මිස සැබෑවක් නොවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
"ඇස්බැස්ටස් යනු පොදු වෙළඳ නාමයකි. එය පොළොවේ ස්වභාවිකව පවතින තන්තු වර්ග 6ක් නියෝජනය කරනවා. තන්තුමය සර්පන්ටයින් හෙවත් ක්‍රිසොටයිල් සහ පිළිකාවන්ට ඍජුවම සම්බන්ධ ඇම්ෆිබෝල් (ක්‍රොසිඩොලයිට්, ඇක්ටිනොලයිට්, ඇමොසයිට්, ඇන්තොෆිලයිට්, ට්රිමොලයිට්) එයට ඇතුලත්.
ශ්‍රී ලංකාව ඇම්ෆිබෝල් වර්ගයක් වු ක්‍රොසිඩොලයිට් (නිල්ඇස්බැස්ටස්) පමණක් තහනම් කර තිබෙනවා. සර්පන්ටයින් සහ ඇම්ෆිබෝල් වර්ගයන් ව්‍යුහ වශයෙන්ද, භෞතික රසායනික ලක්ෂණවලින්ද, ජීව විද්‍යාත්මක ගුණාංගවලින්ද එකිනෙක අතරේ විශාල වෙනසක් පෙන්වනවා.
ක්‍රිසොටයිල් (සුදුඇස්බැස්ටස් ලෙස හඳුන්වන) ජීව ද්‍රවයන්හි ඉතා ඉක්මණින් දියවන අතර, ආශ්වාස කල විට පෙනහළුවලින් ඉතා ඉක්මණින් ඉවත්වී යන බව සොයාගෙන ඇත. මෙය Bio-Persistence ලෙස හදුන්වනවා.
එහෙත් එලෙස ඉක්මණින් පෙනහළුවලින් ඉවත්ව නොයන ඇම්ෆිබෝල් ඇස්බැස්ටස් අංශු ආශ්වාස කිරීමෙන් ඇස්බැස්ටෝසිස්, මෙසොතෙලියෝමා හා ළය පිළිකා වැනි රෝග අනිවාර්යයෙන්ම සෑදෙන බවද සොයාගෙන ඇත." යනුවෙන් ෆයිබර් සිමෙන්ති භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා ඇස්බැස්ටස් විද්‍යාඥයන් තවමත් සිතා සිටින්නේ වහලට යොදාගන්නා සෙවිලි තහඩු ඇස්බැස්ටස් කියා බවත් මෙයින් පැහැදිලි ලෙසම පෙනීයන්නේ ඔවුන් මෙම විෂය පිළිබඳව නිසිලෙස දැනුවත් වීමක් හෝ අවබෝධවීමක් ලබා නොමැති බවද පෙන්වා දෙනවා.
සෙවිලි තහඩුවලට ශ්‍රී ලාංකිකයන් ඇස්බැස්ටස් තහඩු ලෙස ආමන්ත්‍රණය කලද, එහි ඇත්තේ බරින් 6-8%ක ක්‍රිසොටයිල් බවයි පවසන්නේ. අනෙත් 92% පෝට්ලන්ඩ් සිමෙන්ති, සහ ජලය අඩංගු මිශ්‍රණයක් බවයි සඳහන් කරන්නේ.
මෙහිදී ක්‍රිසොටයිල් යොදා ඇත්තේ සෙවිලි තහඩුවේ ශක්තිමත් බව රැකගැනීම සදහා බවද පෙන්වා දෙනවා.