හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම වලකාලමින් නිකුත් කොට ඇති අතුරු තහනම් නියෝගය පෙබරවාරි මස 15වැනිදා දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.
ඞී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් රුපියල් මිලියන 90ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන පරීක්ෂණවලට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා. පෙත්සම අද සලකා බැලූනේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන ද්වී පුද්ගල විනිසුරු ම`ඩුල්ල හමුවේයි.
පෙත්සම අද කැඳවූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා වාචික කරුණු දැක්වීම ආරම්භ කළා. එහිදී ඔහු පෙන්වා දුන්නේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදලින් ඉදිකිරීම් කටයුතු කළ මෙම කෞතුකාගාරය සහ ඞී ඒ රාජපක්ෂ පදනම අතර සිවිල් ගිවිසුමක් පැවති බවයි. ඒ හේතුවෙන් එහි කිසිදු අපරාධමය කරුණක් සිදුව නොමැති බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙහිදී පෙන්වා දුන්නා. එහෙත් මෙම කරුණට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි නීතිඥවරයා පෙන්වා දුන්නේ.
මෙම පෙත්සම පෙබරවාරී 14 වනදා යළි කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයාගේ වාචික දේශන සිදු කිරීමට නියමිතයි.