Thursday, December 26, 2024

General line - 0115112241

මහනුවර සාමාන්‍ය තත්ත්වයට !

කේ ඩබ්ලිව් නිශ්ශංක




මහනුවර දිස්ති‍්‍රක්කයේ තත්ත්වය සාමාන්‍ය අතට පත්ව තිබෙනවා. එම දිස්ති‍්‍රක්කයට ඊයේ පස්වරු හයට පැනවූ ඇඳිරි නීතිය අද (09) උදෑසන හයට ඉවත් කෙරුණා. මේ වනවිට එම දිස්ති‍්‍රක්කයේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මහනුවර ඇති වූ මෙම නොසන්සුන්තාවයේදී හානියට පත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන තක්සේරු කිරීමේ කටයුතුද අද ආරම්භ කරන බවයි මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එච්.එම්.පී. හිටිසේකර කියාසිටියේ. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 20න් තුනක පමණක් නොසන්සුන්තාව හටගත්බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙම නොසන්සුන්තාවයේදී නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට හානි කිරීමේ සිදුවීම් 45 ක් වාර්තා වී තිබුණා.  වාහන 11 ටද අලාභහානි සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. ආගමික ස්ථාන 4කටද අලාභ හානි සිදුවුුණා. නොසන්සුන්තාවට සම්බන්ධ පුද්ගලයින් 115 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින බවයි පොලීසිය පැවසුවේ.

මෙම සිද්ධිය මෙහෙය වූ බව කියන ප‍්‍රධාන සැකකරු ඇතුළු දස දෙනාගෙන් තවදුරටත් ත‍්‍රස්ත විමර්ශන ඒකකය ප‍්‍රශ්න කිරීම් සිදුකරනවා.