Sunday, May 19, 2024

General line - 0115112241

යුද්ධයෙන් පීඩාවට පත්වූ ශ්‍රී ලාංකීකයන් වෙනුවෙන් පෙනී සිටින්න සූදානම් (VIDEO)

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් තමන් පෙනි සිටින බව ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙයින් පවසනවා. ඔවුන් වෙනුවෙන් තමන්ට හැකි පූර්ණ සහාය ලබාදීමට කටයුතු කරන බවත් සාධාරණය ඉෂ්ඨ කිරිම සඳහා තමන් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ඊයේ (10) පැවැති විශේෂ සැසිවාරය අමතමින් කොමසාරිස්වරයා මේ බව කියා සිටියා.

මෙම සැසිවරය සඳහා රටින් බැහැර දෙමළ ඊළාම් රජයෙහි අග්‍රාමාත්‍යවරයාගේ නියෝජනය සනිටුහන් කරමින් එම රජයේ අමාත්‍ය මනිවන්න සහභාගී වී සිටියා.

ඔහු විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙයින් මෙම අදහස් පල කළේ.

ශ්‍රී ලංකා රජයට ජගත් සංවිධානය විසින් වසර 2ක කාලයක් වැරදි නිවැරදි කර ගැනීම සඳහා ලබාදීම තමන් අගය කරන බවත් එසේ කටයුතු කළ ජගත් මානව හිමිකම් කොමිසමට තමා ස්තුතිය පුද කරන බවත් එම අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

අවසාන යුද්ධයේ දී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව ලක් රජය කිසිදු සැලකිල්ලක් නොදක්වා කටයුතු කරන බවත් වගවීමේ ක්‍රියාවලිය අතැර දමා ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මෙවන විට ජාතීවාදි ගැටළු මතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලක්රජයේ මැදිහත් භාවය මෙයට වඩා තිබිය යුතු බවත් රටින් බැහැර දෙමළ ඊළාම් රජයෙහි අමාත්‍ය මනිවන්න සඳහන් කර තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් පත් කළ කොමිසම අතුරුදන් වූවන්ගේ පවුලේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කර ඇති බව පෙන්වාදුන් ඔහු මේ සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මතයද විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙයින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පීඩාවට පත්වූ සියළුම පාර්ශ්වයන් වෙනුවෙන් තමන් පෙනි සිටිව බවයි.