Sunday, May 19, 2024

General line - 0115112241

පාතාල සාමාජිකයන් 17කට නිකුත් කර තිබු රතු වරෙන්තු අවලංගුයි - INTERPOL කියයි

වසන්ත පිවිතුරු




පාතාල කල්ලිවලට අයත් පුද්ගලයන් 17 දෙනෙකු සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබු රතු වරෙන්තු අවලංගු කර තිබෙනවා. මෙම පාතාල සාමාජිකයන් 17 දෙනාට එරෙහිව ජාත්‍යන්තර පොලිසය විසින් පසුගිය වසර 8ක කාලයක් තිස්සේ රතු වරෙන්තු නිකුත් කර තිබු බවයි වාර්තා වන්නේ.

ඉතාලිය, බ්‍රිතාන්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ස්වීසර්ලන්තය වැනි රටවල මෙම පාතාල සාමාජිකයන් ජීවත් වන බවත් අදාළ රටවලින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර නොගත් බැවින් මෙම රතු වරෙන්තු අවලංගු කිරිමටයි ජාත්‍යන්තර පොලිසිය තීරණය කර තිබෙන්නේ.

මෙයට පෙරද එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් 87කට එරෙහිව නිකුත් කර තිබු ජාත්‍යන්තර  රතු වරෙන්තු අවලංගු කිරිමට ද ඔවුන් කටයුතු කළා. රතු වරෙන්තු නිකුත් වූ කාල සීමාව හා අදාළ පුද්ගලයන් මිය ගොස් ඇති බවට අනුමාන කිරිමෙන් නිකුත් කර ඇති රතු වරෙන්තු අවලංගු කිරිම සමාන්‍ය ක්‍රියාවලියක් බවයි ජාත්‍යන්තර පොලිසිය පෙන්වා දෙන්නේ.

නමුත් මෙවන විට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් වී ඇති ශ්‍රී ලාංකීකයන් 17 දෙනාට එරෙහිව නිකුත් වී ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව කුමන පදනමක් මත අවලංගු කිරිමට තීරණය කළේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

කෙසේ වෙතත් මෙම පිරිස මරණයට පත්ව ඇති බව හෝ ඔවුන්ට එරෙහිව නිකුත් කර ඇති රතු වරෙන්තු ඉවත් කරන ලෙස මෙතෙක් ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලීමක් කර නොමැති බවද සඳහන්.