Tuesday, December 24, 2024

General line - 0115112241

හදිසි නීතිය මෙරට ආර්ථිකයට බලපෑමක් වෙයි ද? කොළඹ කොටස් වෙළඳ පොලත් පහළට

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාවේ හදිසි නීතිය පනවා තිබීම හේතුවෙන් රටේ ආර්ථිකයට එය සුළු බලපෑමක් එල්ල කර ඇති බව මෙරට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ කොටස් වෙළඳ පොලට බව සඳහන්.

ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් විදේශ ආයෝජකයින් කොළඹ කොටස් වෙළඳ පොලේ ආයේජනය කිරිමට වැඩි උනන්දුවක් නොදක්වන බවයි කොටස් වෙළඳ පොළ ආරංචි මාර්ග කියා සිටියේ.

මහනුවර සහ අම්පාර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් පසුගිය සිකුරාදා (09) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ හදිසි නීතිය බලාත්මක කරනු ලැබුවා.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුවයි. හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරිමත් සමග කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ඇති විදේශ ආයෝජකයන් සිය තැන්පතු ආපසු ලබාගැනීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබෙනවා.

එමෙන්ම විදේශ ආයෝජකයන්ගේ සංඛ්‍යාව ද කැපී පෙනෙන අයුරින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් ඇතැම් සමාගම්වල කොටස්වල කිසිඳු වෙනසක් සිදුව නොමැති බවද කොළඹ කොටස් වෙළඳ පොළ සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සතිය අවසාන වීමට පෙර කොළඹ කොටස් වෙළඳ පොළේ ගණුදෙන සමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි මධ්‍යම මුදල් හුවමාරුව විශ්වාසය පල කර ඇත්තේ.

මේ අතර අද (12) දිනය අවසානයේ කොළඹ කොටස් වෙළඳ පොල සුළු පසුබෑමකට ලක්ව තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 3.46කින් පහළ ගොස් ඇති අතර එය සියයට 0.05%ක පහත වැටීමක් .

දිනය අවසානයේ දී කොටස් වෙළඳපොල ඒකක 6547.73ක් ලෙස සටහන් වූණා.

මේ අතර, එස්.ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 7.55කින් පහළ ගොස් ඇති අතර එය ද ඒකක 3691.02 ලෙස සටහන්ව තිබෙනවා.

එම අගයද සියයට 0.20%ක පහත වැටීමක්.

අද (12) දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් මිලියන 540 ක්.