පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන බැරල් සංඛ පෑලියගොඩ ප‍්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගැණුනා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්. හෙරොයින් ජාවාරම් සහ කප්පම් ලබාගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
පෑලියගොඩ ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වූ පාතාල කල්ලියක නායකයෙකු වූ බැරල් සංඛ ඉකුත් පෙබරවාරී මාසයේ දී පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවක දී මියගිය පාතාල නායක දඩල්ලගේ මංජු හෙවත් ඩී. මංජුගේ ප‍්‍රතිවාදියා බවද පැවසෙවයා.
ඩී.මංජු සිදු කළ වෙඩි තැබීමකින් 2014 වසරේදී පෑලියගොඩ ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් මන්ත‍්‍රී ශමිල සඳරුවන් ජීවිතක්ෂයට පත්වුණා. එම වෙඩි තැබීමෙන් අද අත්අඩංගුවට ගැණුනු බැරල් සංඛ නමැති පාතාල සාමාජිකයාට ද තුවාල සිදුව තිබුණා. පසුව බැරල් සංඛ විසින් ද ඩී.මංජුට වෙඩි තබා තුවාල සිදු කර තිබුණා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදු වූ වෙඩි හුවමාරුවෙන් ඩී.මංජු මියයාමත් සමග බැරල් සංඛගේ පාතාල ක‍්‍රියාකාරකම් උග‍්‍ර වූ බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව සිදු කළ මෙහෙයුමක දී ඔහු අත්අඩංගුවට ගැණුනා.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 05යි මිලිග‍්‍රෑම් 780ක් ද සොයා ගැණුනා.
පෑලියගොඩ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ශමිල සඳරුවන් මෙන්ම බැරල් සංඛ ද හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ සමීපතමයින් බවයි ආරක්ෂක පැවසුවේ.