අලූතින් පිහිටවූ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය හරහා ඕනෑම සමයක සිදුවූ පුද්ගල අතුරුදන්වීමක් පිළිබඳ සොයා බැලීමට හැකි බව කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.
ඔහු කියා සිටියේ උතුරු නැගෙනහිර පමණක් නොව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවූ අතුරුදන්වීම් සම්බන්ධයෙන් තම කාර්යාලය හරහා සොයා බලන බවයි. නීතීඥ සාලිය පීරිස් මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ලෙස පත්වීමෙන් පසු විද්‍යුත් මාධ්‍ය නාළිකාවක් සමග පැවැති පළමු සම්මුඛ සාකච්ඡාවද මෙයයි.
මෙහිදී ඔහු කියා සිටියේ යුද සමයේ දී පමණක් නොව ඊට පෙර හා පසු සිදුවු අතුරුදන් වීම් සහ ඕනෑම අතුරුදන් වීමක් ගැන මෙම කාර්යාලයේ කටයුතු සිදුකරන බවයි. මෙම කාර්යාලය මගින් දඬුවම් කිරිමක් සිදු නොවන බවත් මෙහිදී සොයා ගන්නා කරුණු සිවිල් නඩුවක හෝ අපරාධ නඩුවක සාක්ෂියක් ලෙස යොදා ගත නොහැකි බවත් සභාපතිවරයා පැහැදිළි කළා.
අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමෙන් පසු එල්ලවූ ප්‍රධාන චෝදනාවක් වූයේ එල් ටී ටී ඊ සංවිධානය හිතකර ප්‍රකාශ සිදු කළ පිරිස් එහි සාමාජිකයින් ලෙස පත්ව ඇති බවටයි. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන්ද කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ මෙම කාර්යාලයේ කිසිදු එවැනි පිරිසක් නොමැති බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පිරිසක් මෙහි සේවයේ නිරත බවයි. එමෙන්ම එම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවයි ඔහු කියා සිටියේ.
මෙම කාර්යාලය පිහිටවූයේ ජාත්‍යන්තරයේ අවශ්‍යතාවයට අනුව බවද තවත් පාර්ශවයක් එල්ල කරන චෝදනාවක්. මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ද කියා සිටියේ මෙම කාර්යාලය හරහා රටට අහිතකර ප්‍රතිපල ඇතිවිය හැකි බවයි.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට සභාපතිවරයා ඇතුලූ කොමසාරිස්වරුන් 07 දෙනෙකු ඇතුළත්. ඔවුන් පත් කර ඇත්තේ වසර 03 කාලයක් සඳහායි. අතුරුදන්වූවනගේ කාර්යාල පනත 2016 වසරේ අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා. 2018 අයවැය යෝජනා මගින් ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 130ක්.