Friday, December 27, 2024

General line - 0115112241

වසර 05කට පසු මෙරටට පැමිණි සංචාරකයින් විසි ලක්ෂයේ සීමාව ඉක්මවයි

ටීකේජී කපිල




මෙම වසරේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන අද විසි ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා. 

ඒ අනුව විසි ලක්ෂය වැනි සංචාරකයා අද උදෑසන 10යි 49ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ. 

තායිලන්තයේ ජනමාධ්‍යවේදියෙකු වන ප්‍රසාන් ඉන්කනන් මෙම වසරේදී මෙරටට පැමිණි විසි ලක්ෂය වැනි සංචාරකයා ලෙසයි වාර්තා අතරට එක් වුණේ. 

ඔහු සමග තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට පැමිණි අතර සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් ගුවන් තොටුපළේදී ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. 

මෙරටට එක් වසරක් තුළ පැමිණි සංචාරකයින් ගණන  විසි ලක්ෂයේ සීමාව ඉක්මවා ගියේ වසර 05කට පසුවයි. එමෙන්ම මීට පෙර සංචාරක පැමිණීම විසි ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2016, 2017 සහ 2018 යන වසරවලදී පමණයි. 


මෙම මාසයේ අද දිනය දක්වා පමණක් සංචාරකයින් එක් ලක්ෂ 95,127 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. 

එය දෙසැම්බර් 31 වන විට දෙලක්ෂ 50,000 සීමාව ඉක්මවා යනු ඇති බවටයි රජය අපේක්‍ෂා කරන්නේ. 

මීට පෙර එක් මසක් තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් දෙලක්ෂ 50,000 සීමාව ඉක්මවා ඇත්තේ 2019 වසරේ පෙබරවාරි මාසයේදී පමණයි. 
 

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටුණු අතර නව රජය පත් වීමෙන් පසු සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.  
 

විදේශ සංචාරකයින් මුහුණ දුන් ඔන්ලයින් ගැටලුව විසඳීම, සංචාරකයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අමතරව සංචාරක සේවා සපයන්නන් මුහුණ පෑ ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය පෙන්වා දෙනවා. 

ඒ අනුව ඉකුත් මාස 03ක කාලය තුළ පමණක් විදේශීය සංචාරකයින් පන් ලක්ෂ පහළොස්දහස් එකසිය අනූ දෙදෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.