Sunday, May 19, 2024

General line - 0115112241

බැංකු වලින් කෝටි ගණන් මුදල් සොරාගත් සයිබර් මහමොළකරු අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සයිබර් ප්‍රහාර හරහා යුරෝ බිලියනයකට ආසන්න මුදලක් වංචා කල බව කියන  අපරාධකරුවෙකු ස්පාඤ්ඤයේදි අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

බැංකු ඉලක්ක කර ගනිමින් එල්ලවු කාර්බැන්ක් (Carbanak) සහ කොබල්ට් (Cobalt) සයිබර් ප්‍රහාරයන් මෙහෙයවු කණ්ඩායමේ ප්‍රධානියා  මෙලෙස අත්අඩංගුවට ගනු ලැබු බව යුරෝපා සයිබර් ප්‍රහාරක ආරක්ෂණ ඒකකය සදහන් කරනවා.

මෙම සයිබර් ප්‍රහාරක කණ්ඩායම 2013 වසරේ සිට යුරෝපය තුල ක්‍රියාත්මකවි ඇති බවත්, එම කාලය තුලදි ඔවුන් විසින් බැංකු 100 කට පමණ සයිබර් ප්‍රහාර එල්ල කොට මුදල් වංචා කර තිබෙන බවට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

ස්වයංක්‍රිය මුදල් යන්ත්‍ර මගින්, බැංකු ගිණුම් වලින් තවත් බැංකු ගිණුමකට මුදල් මාරු කිරිම් ක්‍රමවේදයන් හරහා මෙම සයිබර් ප්‍රහාරකයින් බැංකු ගිණුම් වලින් මුදල් වංචා කිරිම් සිදුකර තිබෙන බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා යැයි මේ පිළිවදව විමර්ෂණ කටයුතු සිදුකරන යුරොපෝල් ඒජන්සිය සදහන් කරනවා.

මෙම කණ්ඩායම සොරා ගත් මුදල් වලින්  සුඛෝපභෝගි නිවාස, වාහන, ස්වර්ණාභරණ ඇතුළු දේවල් මිලදි ගෙන තිබෙන බව යුරෝපිය සයිබර් ප්‍රහාරක ආරක්ෂණ ඒකකය සදහන් කරනවා.

මෙම මහ පරිමාණ සයිබර් ප්‍රහාරක කණ්ඩායම කොටුකර ගැනිමට හැකියාව ලැබුනේ පසුගිය වසර කිහිපය පුරාවට  යුරෝපිය සයිබර් ප්‍රහාරක ආරක්ෂණ ඒකකය, ඇමෙරිකානු FBI සංවිධානය, සයිබර් ප්‍රහාරක ආරක්ෂක ඒකකයන් ඇතුළු ස්පාඤ්ඤ, රුමේනියාව, බෙලෙරුස් සහ තායිවාන් රටවල පොලිසි සමග එක්ව කල දැවන්ත මෙහෙයුමකින් බවයි වාර්තා වන්නේ.

" කිසිම සයිබර් අපරාධකරුවෙක්ට අන්තර්ජාතිකව හෝ නාමමාත්‍රිකව සැඟව සිටින්න දැන් අවස්ථාවක් නැහැ, මේ මහමොළකරු අත්අඩංගුවට ගැනීම ඒකට හොඳම නිදසුන යැයි" යුරෝපා සයිබර් ප්‍රහාර ආරක්ෂක ඒකකයේ ප්‍රධානියා කියා සිටිනවා.