Monday, April 29, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලය නොමග යවා 'ඊ පාස්පෝට් කොන්ත්‍රාත්තුව' පිට පැන්න බව ජනපතිට ලිපියකින් දන්වයි

හේමන්ත කහවලගේ




ශ‍්‍රී ලංකාවේ ඊ විදේශ ගමන් බලපත‍්‍ර සැපයීමේ කොන්ත‍්‍රාත්තුව බි‍්‍රතාන්‍ය සමාගමකට පැවරීම සම්බන්ධයෙන් නැවත සොයා බලා සුදුසු ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස එපික් ලංකා පුද්ගලික සමාගම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

එහි විධායක සභාපති ආචාර්ය නයන දෙහිගම ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ විනිවිදභාවයකින් යුත් ටෙන්ඩර් පටිපාටියක් නොමැතිව මෙම කොන්ත‍්‍රාත්තුව අදාළ බි‍්‍රතාන්‍ය සමාගමට පැවරීමට තීරණය කර ඇති බවයි. මෙහිදී කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක් ද සිදු කර ඇතැයි එහි සඳහන් කර තිබෙනවා. 

අදාළ ලිපියේ දැක්වෙන්නේ,
‘‘ශ‍්‍රී ලංකා ඊ විදේශ ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඩි ලා රූ ලංකා සමාගම රුපියල් බිලියන 1.2ක් ආයෝජනය කිරීමට පොරොන්දු වී ඇත. මෙය, කොන්ත‍්‍රාත්තුව ඩි ලා රූ ලංකා සමාගමට ඍජු කොන්ත‍්‍රාත්තුවක් ලෙස පිරිනැමීමට සුදුසුකමක් ලෙස ඉහත කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් වේ. නමුත් ඩි ලා රූ ලංකා සමාගම 2018 ජනවාරී 26 දා තමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ ගමන් බලපත‍්‍ර සමීක්ෂණ වාර්තාවේ සඳහන් ආකාරයට ඔවුන් ආයෝජනය කරන්නේ රුපියල් මිලියන 50කටත් අඩු වටිනාකමකින් යුත් තාක්ෂණික මෙවලම් කිහිපයක් පමණි.’’
යනුවෙනි.

ශ‍්‍රී ලංකාවේ ඊ විදේශ ගමන් බලපත‍්‍ර සැපයීමේ කොන්ත‍්‍රාත්තුව බි‍්‍රතාන්‍ය සමාගමකට පැවරීම නිසා ඒ සඳහා සුදුසුකම් ඇති එකම දේශීය සමාගම වන සිය ආයතනය අධෛර්යයට පත්වන බවද මෙම ලිපියේ දැක්වෙනවා. මෙමගින් ජාත්‍යන්තර තලයේ ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමට තමන්ට ඇති අවස්ථාව ද අහිමි වන බවයි ආචාර්ය නයන දෙහිගම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

ඒ අනුව අදාළ කොන්ත‍්‍රාත්තුව විනිවිදභාවයකින් යුත් විවෘත ටෙන්ඩර් පටිපාටියකින් යුත් සුදුසු ආයතනයකට පවරා දෙන ලෙස මෙමගින් යෝජනාවක් කර තිබෙනවා.