ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ආශ‍්‍රිත වෙනත් භාණ්ඩ හා සේවාවල ද මිල යම් තරමකින් ඉහළ ගියත් එහි බර ජනතාවට නොදැනෙනු ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ වැඩිදුර ප‍්‍රශ්න කිරීමකදීයි.
එහිදී, "මේ වන විට උද්ධමනය ඉතාම පහළ මට්ටමකින් පවත්වාගෙන යන්නේ..සියයට 03ක් විතර. ඒ නිසා ජනතාවට ඔය බර දැනෙන්නේ නෑ. ඔය දැන් කෑගැහුවට මේ දවස්වල බඩු මිල ඉතාමත්ම අඩුයි. ඉතින් ඒවටත් අපිට ස්තූතියි කියලා කියන්න." යනුවෙන් සඳහන් කළා.
ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කෙරුණේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලට සාපේක්ෂව බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මීට පෙර ලංකා අයි.ඕ.සී. සමාගම පමණක් ඉන්ධන මිල වැඩිකර තිබූ අතර ඒ හේතුවෙන් ඉකුත් සමයේදී ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පාඩුව කිහිප ගුණයකින් වැඩි වූ බවයි අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් පැවසුවේ.
මෙම වසරේ මුල් මාස 03දී පමණක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව ලැබූ පාඩුව රුපියල් බිලියන 11කට වැඩි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට කෙරුණු ඉන්ධන මිල වැඩිකිරීමෙන් මෙම පාඩුව සමනය වන්නේදැයි ද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා.
එහිදී සඳහන් කෙරුණේ "මේ පාඩුව මේ විදිහට පියවීම තුළින් ඒ පාඩුව පියවන්න ගිය මහා භාණ්ඩාගාරයේ මුදල් ඉතිරි වෙනවා. ලංකා ඛණිජ තෙල් සංස්ථාව ලාබ ලබන්න නම් මේකෙන් විතරක් ලාබ ලබන්න බෑ. ඒකට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිසංස්කරණය කළ යුතුයි." යනුවෙනි.
ඉන්ධන සඳහා වන මිල සූත‍්‍රය මේ වනවිට ක‍්‍රියාත්මක කර තිබෙනවා. මේ යටතේ සෑම මාස දෙකකට වරක්ම ඉදිරියේ දී ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙහිදී කියා සිටියා.