Monday, December 23, 2024

General line - 0115112241

ගාස්තු වැඩි කරන්න වෙන බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමයත් කියයි

ඩිල්ෂාන් මඩවල/පසන් වික්‍රමතිලක




ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් සිය සේවා ගාස්තු ද වැඩි කිරීමට සිදු වන බව පාසල් ළමයින් ප්‍රවාහනය කරන්නන් පවසනවා. 

කෙසේ වෙතත් පීඩාවට පත් නොවන පරිදි කටයුතු කිරීමට තමන් උත්සහ කරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. 

සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මේ බව අනාවරණය කළා.

මේ අතර ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි පැවසුවේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙන බවයි.

කෙසේ වෙතත් ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් හිමියන් කියා සිටියා. කුමන ප්‍රතිශතයකින් කවදා සිට බස් ගාස්තු වැඩි කරන්නේදැයි අද (11) පස්වරුවේ ප්‍රකාශ කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ. 

මේ අතර සිය ගාස්තු අද සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පැවසුවා. ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 50 සිට 60ක් දක්වා වැඩි කරන බවයි ඔවුන් කියා සිටියේ.