Monday, December 23, 2024

General line - 0115112241

රණවිරුවන්ගේ කරමතින් පක්ෂ දේශපාලනය කරන්න එපා




කිසියම් දේශපාලන පක්ෂයක් සිය දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිත කිරීම සදාචාරාත්මක නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීමට කටයුතු කරනවා මිස කිසිදු අවස්ථාවක ඔවුන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය කටයුතු නොකළ බවයි.

‘‘ වයඹ රණ අභිමන්’’ රණවිරු ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. කුරුණෑගල - දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේ දී තාවකාලිකව ඉවත් කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය ඉදිකර තිබෙනවා. ඒ, කුරුණෑගල මාලිගාපිටිය ක‍්‍රීඩාංගණය අසලයි. මාර්ගය සැකසීමේ දී මීට පෙර පැවති රණවිරු ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව බොහෝ පිරිස් විරෝධතාවල ද නිරත වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රණවිරු දඩයමක් පිළිබඳ ඇතැමුන් රජයට චෝදනා කළද සැබෑ ලෙසම රණවිරු දඩයම සිදු කළේ පසුගිය රජය බවයි. වත්මන් රජය අන්තර්ජාතික සහයෝගීතාව තුළ රණවිරුවන්ගේ අභිමානය සුරැකීමට උපරිම අයුරින් කටයුතු කළ බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.