Monday, December 23, 2024

General line - 0115112241

ගංගාවල ජල මට්ටම ගැන පැහැදිළි කිරීමක්

ඉෂාර සුපෙම් මානගේ




අධික වර්ෂාවත් සමග ගංගාවල ජල මට්ටම් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශය පැහැදිළි කිරීමක් සිදු කළා.

ඒ අනුව පෙන්වා දුන්නේ මේ වන තෙක් කිසිඳු ගංගාවක ගංවතුර තත්ත්වයක් නොමැති බවත් ඇතැම් ස්ථානවල ජල මට්ටම ඉහල ගොස් ඇති බවට දැකගත හැකි වන්නේ අදාළ ප්‍රදේශයට අධික වැසි ලැබීම හේතුවෙන් ජලය එකතුවීම නිසා බවයි.

කැලණි ගඟේ ජල මට්ටම ද හංවැල්ල ජල මාපකයේ මේ වන විට පවතින්නේ මීටර් 2.25ක මට්ටමකයි.  නාගලගන්වීදිය ප‍්‍රදේශයේ ජල මාපකයේ එය සටහන් වී ඇත්තේ 1.1ක් වශයෙනි.

කැළණි ගඟේ ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට නම් නාගලගන්වීදිය ප‍්‍රදේශයේ ජල මාපකයේ ජල මට්ටම අඩි 4ක් දක්වා ඉහළ යා යුතු අතර හංවැල්ල ජල මාපකයේ ජල මට්ටම මීටර් 07ක් දක්වා ඉහළ යා යුතුයි. 

මේ අතර ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ෂා සහිත තත්ත්වය තව දුරටත් වාර්තා වෙමින් පවතින බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ තද වැසි තත්ත්වයක් වාර්තා වී ඇති බවත් අද (20) කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක තද වැසි තත්ත්වයන් වාර්තා වෙන බවද පෙන්වා දුන්නා. 

අධික වර්ෂාව හේතුවෙන් ගංගා දෙපස සිටින ජනතාව, වාරි ප්‍රදේශවල සිටින සහ කඳුකර ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව සෑම මොහොතකම පරිසරයේ වෙනස්කම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පෙන්වා දෙන්නේ. යම් වෙනස්වීමක් දුටු වහාම 117 හදිසි ඇමතුම් අංකයට දැන්වීමට කටයුතු කරන ලෙසද සඳහන් කළා.

අධික වර්ෂාව හේතුවෙන් දැනට දැදුරු ඔයේ වාන් දොරටු 04ක් විවෘත කර තිබෙනවා. උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති අතර දැදුරු ඔයේ වාන් දොරටු දැනට දින කිහිපයක පටන් විවෘත කර ඇති බැවින් ආරච්චිකට්ටුව, පුත්තලම, හලාවත වැනි ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු බවයි පෙන්වා දෙන්නේ.

තවද අධික වර්ෂාවත් සමග සම්ප්‍රේෂණ රැහැන් මාර්ගවලට හානි වීමෙන් කෑගල්ල, රඹුක්කන, මතුගම, අගලවත්ත ඇතුලු ප්‍රදේශවල විදුලි සැපයුම ඇනහිට ඇති බවයි විදුලි බල අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.