Tuesday, December 24, 2024

General line - 0115112241

"ජවිපෙට තියෙන ලොකුම ඇණේ ගලවන්නයි හදන්නේ"

සමන්ත කුමාර/ දිල්ෂාන් තුෂාර




ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති ගැටළුකාරී තත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල නෙත් නිවුස් වෙත ඒ පිළිබඳ කරුණු දැක්වූවා.

එහිදී "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ යෝජනාවට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි ඉදිරියේදී මෙය කෙතරම් ප්‍රාථමික ආකාරයෙන් සකස් කරලා තියෙනවාද කියලා  රටට පැහැදිළි කරලා දෙන්න සූදානම්. ලංකාවේ මූලික නීතිය සමග සෙල්ලම් කිරීමට නොදරුවන්ට ඉඩ දෙන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණට තියෙන ඇත්ත ප්‍රශ්නය තමයි..ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණොත් සියයට 4කට වඩා කවදාවත් ඡන්ද ගන්න පුළුවන් වෙලා නෑ. වරින් වර ප්‍රධාන පක්ෂ දෙකටම සහය දීලා දැන් සහය දෙන්න පක්ෂයකුත් නෑ. ජනාධිපතිවරණය කියන්නේ ජවිපෙට තියෙන ලොකුම ඇණේ. ඒ ඇණේ ගලවන්න තමයි මේක ගෙනල්ලා තියෙන්නේ." යනුවෙන් සඳහන් කළා.

අදාළ යෝජනාව පිළිබඳ අධ්‍යයනය කර සිය මතය ප‍්‍රකාශ කරන බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායම පවසන්නේ. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මේ බව කියා සිටියා. 

මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මතය කුමක්දැයි නෙත් නිවුස් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කවින්ද ජයවර්ධනගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "රටේ අගමැති..අපේ පක්ෂයේ නායකතුමා සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ඡා කරලා එක මතයකය ඇවිල්ලා.. මේ රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සඳහා අපි වැඩකටයුතු කරනවා. එහිදී අපිට ජනතා විමුක්ති පෙරමුණ සමග එකඟ වෙන්න පුළුවන් තැන්වලදි අපි ඔවුන් එක්ක එකඟ වෙලා ඒ කටයුතු කරන්න බලනවා. ඒ වගේම මේ රටේ සුළු ජනතාව ගැනත් වගකීම එක්සත් ජාතික පක්ෂයට තියෙනවා." යනුවෙනි.