Wednesday, May 1, 2024

General line - 0115112241

සැඩ පහරට හසුවූ පිරිසක් බේරා ගැනීමට ගොස් ජීවිතක්ෂයට පත් පොලිස් නිලධාරියාට උසස්වීමක් (UPDATE)




සැඩ පහරකට හසුවු පිරිසක් බේරාගැනීමට යාමේ දී දියේ ගිළී ජීවිතක්ෂයට පත් වූ පොලිස් කොස්තාපල් ඩිලාන් සම්පත්ට උසස් වීමක් ලබාදී තිබෙනවා.

ඔහු පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරනවා.

පසුගිය 25 වැනිදා මාදම්පේ, ගල්මුරුව දකුණ, ගල්වල ප්‍රදේශයේ දී සැඩ පහරකට හසුවු පිරිසක් බේරාගැනීමට යාමේ දී අදාළ පොලිස් නිලධාරියා සැඩපහරේ ගසාගෙන ගොස් අතුරුදන්ව තිබුණා.

ඔහුගේ සිරුර, අතුරුදන් වූ ස්ථානයේ සිට මීටර් 200ක පමණ දුරින් වූ උඩලවෙල ප්‍රදේශයේ තිබී අද (27) උදෑසන සොයාගත් බව පොලීසිය පැවසුවා.

මියගොස් ඇත්තේ මාදම්පේ පොලීසියට අනුයුක්තව සේවය කළ 29 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.

 

----------------------------

සැඩ පහරට හසුව ගසාගෙන ගිය පොලිස් නිලධාරියාගේ සිරුර සොයා ගනී (UPDATE)

(27-05-2018 08:27)

 

 

මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව දකුණ. ගල්වල ප්‍රදේශයේ ගංවතුරේ සැඩ පහරකට හසුව ගසාගෙන යමින් සිටි තිදෙනෙකු මාදම්පේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බේරා ගැනීමට පෙරේදා (25) කටයුතු කර තිබුණා. 

එම අවස්ථාවේදී එක් පොලිස් නිලධාරියෙකු එම සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වුණා.

එම පොලිස් නිලධාරියා සෙවීමේ කටයුතු අද (27) දිනටත් අඛණ්ඩව සිදු කෙරුණු අතර අද පෙරවරු 7.00ට පමණ එම නිලධාරියා අතුරුදහන් වූ ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් උඩලවෙල ප්‍රදේශයේ ස්ථානයක තිබී සිරුර සොයා ගැනීමට හැකි වුණා.

වයස අවුරුදු 29ක් වූ ඩිලාන් සම්පත් යන පොලිස් කොස්තාපල් (88587) අංක 176/01, මල්ගමුව ගිරිඋල්ල පදිංචිකරුවෙනක්.  

(මේ සම්බන්ධ මීට පෙර පුවත මෙතැනින් කියවන්න)