Thursday, May 2, 2024

General line - 0115112241

වලසාගේ සිද්ධිය නිසා වනජීවි නිලධාරීන් අවදානම් රැකියාවලින් ඉවත් වෙන්න යයි

රංජිත් රාජපක්ෂ - හැටන්




ධීවරයකුට පහර දුන් වලසෙකු වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් තම සංගමයේ නිලධාරින් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කිරිම පිළිබඳව කඩිනමින් සාධාරණයක් ඉටු නොකළ හොත් තම සංගමයේ සමාජිකයන් අවධානම් රාජකාරිවලින් ඉවත්වන බව සමස්ථ ලංකා එ්කාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පවසනවා.

ප්‍රභාෂ් කරුණාතිලක ඒ බව කියා සිටියේ අද (27) හැටන් නගරයේදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

කිසිඳු විධිමත් පරික්ෂණක් නොපවත්වා තම අමාත්‍යංශයේ උසස් නිලධාරින් සීත කාමරවල සිට ගත් මෙම තිරණය වැරදි සහගත බවයි ප්‍රභාෂ් කරුණාතිලක කියා සිටින්නේ.

පසුගියදා ගිරිතලේ වැව් රක්ෂිතයේදි  වලසෙකු ධීවරයකුගේ ඇඟමත නැග ධීවරයාට ප්‍රහාරයක් එල්ල කරමින් සිටියදී වනජීවි අඥා පනතට හා දණ්ඩන නිති සංග්‍රහයට අනුකූලව වලසාට වෙඩි තබා ධීවරයාව මුදාගත් ගිරිතලේ පශු වෛද්‍යවරයා, වනඅඩවි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සහ ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් විසින් කටයුතු කර ඇති බවයි එම සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

තවද වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ ක්‍රියාකලාපය තරයේ හෙලා දකින බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පොළොන්නරුව ජලජ කැළුම් නිම්නය මහජනතාවට සැරිසැරීමට  හා එහි යළිත් කුඹුරු වැපිරීමට ඉඩ සලසා දෙන ලෙස දැනුම් දීම නිසා යලිත් අලි මිනිස් ගැටුමක් ඇති වීමට ඉඩ ඇති බවද ප්‍රභාෂ් කරුණාතිලක පැවසුවා.

එවකට සිටි රටේ නායකයින් දූරදර්ශීව සිතා බලා එම නිම්නය ඇති කල බවත් නියෝජ්‍ය අමාත්‍යවරයාට අවශ්‍යමනම් නිසි ක්‍රමවේදය අනුගමනය කර ගැසට් නිවේදනයක් නිකුත් කර එය සිදු කරන ලෙසද සඳහන් කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් වනජීවි නිලධාරීන්ට සිදු වෙමින් පවතින මෙවැනි හිරිහැර සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට තම සංගමයේ නිලධාරින් වනජීවි ආමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆෙන්සේකාගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති බවද ඒ සඳහා ලබන මස 4 වෙනි දින ලබා දී ඇති බවද පෙන්වා දුන්නා.