Wednesday, May 15, 2024

General line - 0115112241

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තේ නැහැ - තවත් මැති ඇමතිවරු කිහිප දෙනෙක් කියයි

ඩිල්ෂාන් මඩවල/ රංජිත් රාජපක්ෂ




පර්පර්චුවල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බව තවත් මහජන නියෝජිතයන් කිහිපදෙනෙකු අද කියා සිටියා.

අමාත්‍ය පී දිගම්බරම් පැවසුවේ තමන් හෝ දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ වෙනත් කිසිඳු නියෝජිතයෙකු ද අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බවයි. අර්ජුන් ඇලෝසියස්ගෙන් එලෙස මුදල් ලබා ගෙන ඇත්තේ කවුරුන්දැයි රටට හෙළි කරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් සහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කළා. 

අර්ජුන් ඇලෝසියස්ගෙන් තමන් මුදල් ලබා නොගත් බව අමාත්‍ය කබීර් හෂීම් ද අද කියා සිටියා. 

මේ අතර පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල පවසන්නේ අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බව කිසියම් අයෙකු ප‍්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා ඔවුන් දිවුරුම් පෙත්සමක් ලබා දිය යුතු බවයි. තමන්ද එවැනි දිවුරුම් පෙත්සමකට අද අත්සන් තැබූ බව මන්ති‍්‍රවරයා පැවසුවා.

බස්නාහිර පළාත් සභා මන්ති‍්‍ර ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශි‍්‍ර වර්ණසිංහ ද අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් බව අද කියා සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය වෙත පැමිණිල්ලක්ද කරමින් ඔහු පැවසුවේ අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත්තෙකු ලෙස තමන්ගේ නමද අතුළත් කරමින් අන්තර්ජාලයේ වැරදි වාර්තාවක් පළ කර ඇති බවයි.  එම කූඨ ලේඛණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන්නැයිද ඔහු ඉල්ලීමක් කළා.