Saturday, April 27, 2024

General line - 0115112241

ගල් අඟුරු බලාගාර ලාභ යැයි විදුලි ඉංජිනේරු සංගමය කියද්දී ඊට වඩා LNG බලාගාර ලාභ බව ලංවිම සභාපති කියයි




රාජ්‍ය හවුල්කාරිත්වය යටතේ ඉදිරි වසර දෙක තුලදී මෙගා වොට් 1400ක ධාරිතාවයකින් යුත් එල් එන් ජී බලාගාර තුනක් ඉදිකිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ ඉන්දියාව, චීනය හා ජපානය යන රටවල් තුන සමග එක්වය. මෙම බලාගාර ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ පවසනවා.

මේ අතර ලංවිම දිගුකාලීන ජනන සැළැස්ම සකස් කල විදුලි ඉංජිනේරුවන් කිහිප දෙනෙකු නායකත්වය දෙන ලංවිම ඉංජිනේරු සංගමය කඩිනමින් ගල් අගුරු බලාගාර ඉදිකිරීමේ ඉලක්කයක් ඇතිව ක්‍රියා කළ අතර ඔවුන් යෝජනා කර තිබුණේ මෙගා වොට් 2700ක නව ගල් අගුරු බලාගාර ඉදිකිරීමටය. එහෙත් මෙම සැලැස්ම ප්‍රතික්ෂේප කළ මහජන උපයෝගිතා කොමිෂන් සභාව එල් එන් ජී බලාගාර වඩා ලාභදායි බව පවසමින් පසුගිය වර්ෂයේදී එල් එන් ජී බලාගාර වැඩිවශයෙන් ඇතුළත් සැලැස්මක් අනුමත කළා.

ඉන්පසු එල් එන් ජී බලාගාර වලට එරෙහි වෙමින් ලංවිම ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයක්ද කළ අතර විදුලි ඉංජිනේරුවන් ගල් අගුරු වඩා ලාභාදායි බව කීවද මේ වන විට විදුලිබල අමාත්‍යාංශය මෙන්ම ලංවිම පාලනාධිකාරියද වඩා ලාභදායි එල් එන් ජී බලාගාර බවට පිළිගෙන තිබේ. ලංවිම සභාපති ඩබ්ලිව්.බී ගනේගල පවසන්නේ ද්වි වායු ඒකකයක් රු.12.00ක් වැනි අඩු මිලට ලබාගත හැකි බවත් මෙම අගය අනෙකුත් සෑම තාප ප්‍රභවයන් (ගල් අඟුරු, දැවිතෙල් සහ ඩීසල්) වලට වඩා මිල අඩු බවයි.

නොරොච්චෝලේ බලාගාරයෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය සඳහා රුපියල් 15කට වඩා වැඩි මිලක් වැය බව ලංවිම ගිණුම් වලින් සනාථ වනවා. නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීම සඳහා ගත් ණය හා පොලිය ද ඇතුලත් කල විට නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ඒකකයක වියදම රුපියල් 20කට ආසන්නය. ගල් අගුරු බලාගාර ලාභදායි බව පෙන්වීම සඳහා ඉංජිනේරු සංගමයේ ගල් අගුරු කඳවුර නොරොච්චෝලේ බලාගාරයේ ඒකකයක වියදම රුපියල් 7.90 ක් බවට ගෙන ගිය ප්‍රචාරය අසත්ය බව දැන් ඔප්පු වී ඇත. ඉංජිනේරුවන් අතලොස්සක් ගල් අගුරු ලාභ බව පෙන්වමින් ජනතාවත් රටත් රවටන්නේ කවර වුවමනාවකට දැයි යන්න ගල් අගුරු හා බැදුනු දූෂණ , මගඩි හා වංචා මගින් මනාව පැහැදිලි වේ.