Friday, May 3, 2024

General line - 0115112241

සිරියාවේ ගැටුම් උග්‍ර අතට : විශාල අනතුරක් ගැන එක්සත් ජාතින් අනතුරු අඟවයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිරියාවේ බටහිර දෙසින් බලය තහවුරු කරගෙන සිටි කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ජනාධිපති බෂාර් අල්- අසාද් ගේ රජයේ හමුදාවන් රුසියාවේ සහය ඇතිව මේ වන විට දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 

රජයේ හමුදාවන් රුසියාවේ සහය ඇතිව කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත පසුගිය දින 02 ක තුල මෙහෙයුම් දියත් කර තිබෙන අතර වැඩි වශයෙන් එල්ලවන ගුවන් ප්‍රහාර හේතුවෙන් බටහිර සිරියාවේ පිහිටි රෝහල් ද විනාශවී ඇති බව යුධ නිරීක්ෂකයින් සඳහන් කරනවා. දිනෙන් දින එල්ල වන ප්‍රහාර හේතුවෙන් එම ප්‍රදේශවල කොටුවී සිටින සිවිල් වැසියන් මේ වන විට ගෝල්ඩන් හෙයිස්ට් දෙසට පළා යමින් සිටින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

රුසියාවේ සහය ඇතිව බටහිර සිරියාවේ Dael සහ Saida නගර වලට රජයේ ගුවන් හමුදාවන් විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. 

සිරියානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ එරට අගනුවර වන දමස්කස් ආසන්නයේ සිටි කැරලිකරුවන් පලවා හැර ඇති බවත් සෙසු ප්‍රදේශවලද බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව කැරලිකරුවන් සිටින ගෝල්ඩන් හෙයිස්ට් දේශ සිමාවේ හි බලය තහවුරු කරගෙන සිටින ජෝර්දානය සහ ඊශ්‍රායාලයෙන් එය මුදවා ගන්නා බවයි.

මේ අතර සිරියාව පිළිබඳව පත්කර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත Staffan de Mistura පවසන්නේ සිරියාවේ පවතින සටන් තව තවත් උග්‍ර අතට හැරීමට තිබෙන ඉඩකඩ වැඩි බවත් මේ හේතුවෙන් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය යාමේ පවතින ඉඩකඩ වැඩි බවට ඔහු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් කියා තිබෙනවා. එමෙන්ම වසර 07 ක් ගතවී තිබෙන සිරියානු යුද්දයේදී නැගෙනහිර  Ghouta සහ Aleppo හි සිදුවූ මිනිස් සංහාරයන් වැනි දෙයක් යලි සිදුවීමට ඉඩ නොතබන මෙන් ඔහු ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලීමක්ද කර ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.