Friday, May 3, 2024

General line - 0115112241

නුදුරේදීම ට්‍රම්ප්-පුටින් සමුළුව පැවැත්වීමේ සුදානමක් : හමුවන තැන මෙන්න

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාව සහ රුසියානු රාජ්‍ය නායකයින් අතර හමුවක් පිළිබඳව දෙරට අතර නිල වශයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.  ඒ අනුව සමුළුව පවත්වනු ලබන ස්ථානය දිනය සහ වෙලාව පිළිබඳව නිල නිවේදනය අද (28) දින නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.

අමෙරිකාවේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් සහ රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් අතර හමුවක් රුසියාවේදී ඊයේ (27) සිදුවී ඇති අතර ඉන් පසු රුසියාවේ විදේශ කටයුතු උපදේශක  Yuri Ushakov මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ රාජ්‍ය නායකයින් දෙදෙනා අතර පළමු හමුව තුන්වන රටක සිදුවන බවත් ඊට සුදානම් වීම සඳහා සති කිහිපයක් අවශ්‍ය වන බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම රැස්වීම දිගු කලක පටන් සැලසුම් කරමින් සිටි බවයි.

දැනට යෝජනාවී ඇති පරිදි ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සින්කික් හි මෙම සමුළුව පැවැත්වීමට දැනට කරුණු සලකා බලමින් සිටින බවයි. මෙහිදී රාජ්‍ය නායකයින් දෙපල අමෙරිකානු-රුසියානු සබඳතා වර්ධනය කර ගැනීම, ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳව වන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීම ගැන සාකච්ජා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

" මෙය රටවල් දෙකටම වැදගත් මෙන්ම සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවටම වැදගත් කමකින් යුත් හමුවක් වනු ඇතැයි"  රුසියාවේ විදේශ කටයුතු උපදේශක  Yuri Ushakov මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා සිටියා.

රුසියාව සහ අමෙරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය වීම පිළිබඳව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රුසියානු විරෝධී මත දරණ රටවල නොසතුට පලවී තිබෙනවා. එමෙන්ම නේටෝව කෙරෙහි දක්වන සැලකිල්ලට වඩා රුසියාව සමග සෘජු සම්බන්ධතාවයන් ඇති කර ගැනීමට ජනපති ට්‍රම්ප් දරන උත්සාහය ගැන මේ වන විට දේශීයව මෙන්ම ජාත්‍යන්තරව දෝෂ දර්ශනයට ලක්ව ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.

අමෙරිකාවේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ගේ රුසියානු සංවාරය පිළිබඳව මේ වන විට රුසියානු රජය සතුටු වන බවත් නුදුරේදීම රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක් පැවැත්වෙනු ඇති බවටයි වාර්තා වන්නේ.