Thursday, May 9, 2024

General line - 0115112241

රථ වාහන සදහා නව දඩ මුදල් අය කිරීම අද සිට

කසුන් කැලුම්




රථ වාහන වැරදි 33ක් සම්බන්ධයෙන් නියම කෙරෙන ස්ථානීය නව දඩ මුදල් අද (15) සිට බලාත්මක වනවා. මීට පෙර ස්ථානීය දඩ පති‍්‍රකාවේ වැරදි 23ක් සඳහා පමණයි ස්ථානීය දඩ නිකුත් කෙරුණේ. 

කෙසේවෙතත් පැරණි ස්ථානීය දඩ පති‍්‍රකාවේ තිබූ වැරදි අතරින් 03ක් නව ස්ථානීය දඩ පති‍්‍රකාවට ඇතුළත් කර නැහැ. එම වැරදි 03 සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරීමක් පමණක් සිදු වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නෙත් නිවුස් වෙත පැවසුවේ.

හඳුනාගැනීමේ අංක තහඩු නොමැතිව රිය ධාවනය කිරිමේ වරදට මෙතෙක් අයකළ රුපියල් 500ක දඩය රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

වේග සීමා උල්ලංඝණය වන පරිදි රිය ධාවනයට මෙතෙක් අය කළ රුපියල් 1000 දඩය රුපියල් 3000 දක්වා ඉහළ දමා තිබෙනවා. ආදායම් බලපත‍්‍රය ප‍්‍රදර්ශනය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් නොකිරිමේ වරදට අය කළ රුපියල් 500ක දඩ මුදල ඉහළ දමා ඇත්තේ රුපියල් 1000 දක්වායි. ධාවනය කරන විට රියදුරු බලපත‍්‍රය රැගෙන යාමට අසමත්වීමේ වරදට අය කෙරෙන නව දඩ මුදල රුපියල් 1000ක්.
 
ආසන පටි හා ආරක්ෂිත හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම සම්බන්ධයෙන් අය කෙරෙන දඩය රුපියල් 1000ක් වනවා. මාර්ග නීතිවලට අවනත නොවීම, පොලිස් නිලධාරීන්ගේ විධාන සහ සංඥා වලට අවනත නොවීමේ වරදට රුපියල් 2000ක දඩ මුදලක් නියම කෙරෙනු ඇති. 

නව දඩ මුදල් දින 14ක් ඇතුළත ගෙවීමට අසමත්වුවහොත් තවත් දින 14ක අමතර කාලයක් අදාළ දඩ මුදල් ගෙවීමට හිමි වනවා. එම කාලය තුළද අදාළ දඩ මුදල ගෙවීමට අසමත්වුවහොත් එම දඩ මුදල දෙගුණ වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර වැඩිදුරටත් පැවසුවේ.