Monday, December 23, 2024

General line - 0115112241

බන්ධනාගාරය හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඇති බාධා මෙන්න

නිශාන් ද සිල්වා




මරණ දඬුවම නියම වූ රැඳවියන් පමණක් නොව සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන සිරකරුවන් ද මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බව අනාවරණ වී තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් පැමිණෙන්නේ ද රිමාන්ඞ් සැකකරුවන්ගෙන් බවයි. 

ඇතැම් පුද්ගලයින් සිය කැමැත්තෙන්ම පොලිස් අත්අඩංගුවට පත් වී රිමාන්ඞ් භාරයට පත්වන තත්වයක් ඇති බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසිමකදී ප‍්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සුළු වැරදිවලට රිමාන්ඞ් වන එවැනි පුද්ගලයින් බන්ධනාගාරය තුළට රුපියල් ලක්ෂ 03ත් 04ත් අතර වටිනාකමින් යුත් හෙරොයින් ඉතා සූක්ෂමව රැගෙන එන බවයි. සිය සිරුර තුළ සඟවා හෝ රැගෙන එන කෑම තුළ සූක්ෂම ලෙස රඳවා එලෙස මත්ද්‍රව්‍ය රැගෙන එන බව සඳහන්. රිමාන්ඞ්ගතව සිටින දින 14ක් වැනි කාලය තුළ අදාළ මත්ද්‍රව්‍ය අලෙවි කර යළි ඔවුන් ඇප ලබා පිටව යන බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී හෙළි වුණේ.

මෙවැනි ජාවාරම් මැඩලීමට බන්ධනාගාර නිලධාරීන්ට නොහැකි මන්දැයි නෙත් නිවුස් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය ඊට දැඩි ලෙස බලපා ඇති බවයි. 

මේ වනවිට ද බන්ධනාගාර නියාමකයින් 1200කගේ පුරප්පාඩු පවතිනවා. එවැනි තත්වයක් තිබියදීත් සිටිය යුතු ප‍්‍රමාණයට වඩා වැඩි සිරකරුවන් ප‍්‍රමාණයක් මේ වනවිට බන්ධනාගාරවල සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. නවීන උපකරණවල හිඟය ද බන්ධනාගාරය හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට බාධාවක් බව වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගතව සිටියදීත් එම ජාවාරමේ නිරත වන රැඳවියන්ට මරණ දඬුවම ලබාදීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ. ඊට අදාළ 18 දෙනෙකුගේ ලැයිස්තුවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වනවිට අධිකරණ අමාත්‍යංශය වෙත යොමුකර තිබෙනවා.