Monday, December 23, 2024

General line - 0115112241

ඇමති මංගල පූර්ණ සමාවක් ඉල්ලයි




පසුගිය සතියේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී මරණ දණ්ඩනය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමේදී යම් හිත් රිදවීමක් ඇති වුණේ නම් ඒ පිළිබඳ බලවත් කණගාටුව පළ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

පුන්‍යායතන හා වෙනත් සමාජ සුබ සාධන ආයතනවල ඉහළ තනතුරුවලට සම්බන්ධ වෙමින් ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය දූෂිත ක්‍රියා වසන් කර ගැනීමට උත්සාහ කරන බව තමන් එම පුවත්පත් සාකච්ඡාවේදී සඳහන් කළ බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එහිදී තමන් අතින් රොටරි සමාජයේ හා සිංහ සමාජයේ නම් ද කියවුණු බව අමාත්‍යවරයා සඳහන් කරනවා. පුන්‍යායතන, සමාජ සුබසාධන ආයතන ආදියට විවිධ හේතු අනුව පුද්ගලයන් සම්බන්ධ වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් අදාළ ආයතන විසින් ඉටු කරනු ලබන උතුම් සේවාවන් කිසිලෙසකවත් පහත් කිරීමේ අරමුණින් සිය ප්‍රකාශය සිදු නොවුණු බව අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරනවා. තම ප්‍රකාශය තුළින් කිසියම් අයෙකුගේ හිත් රිදවීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ණ සමාවක් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සිය නිවේදනයෙන් අවධාරණය කරන්නේ.