Monday, December 23, 2024

General line - 0115112241

රටම කතා කළ ගිවිසුමක් ගැන අද පාර්ලිමේන්තුවේදී විවාද කෙරේ

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (17) පැවැත්වෙනවා.

විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍රී දිනේෂ් ගුණවර්ධන විසින්.

සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම විවාදය අද පස්වරු 1.30 සිට පස්වරු 6.30 දක්වා පැය පහක් පුරා පැවැත්විමට නියමිතයි. ඉකුත් දා අත්සන් තැබුණු ශ‍්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම, ඒකාබද්ධ විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් දැඩි විවේචනයට ලක් කළා.

සිංගප්පුරු ගිවිසුම හරහා ශී‍්‍ර ලංකාවට සිදුවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර නලින්ද ජයතිස්ස අදහස් පළ කරමින් සඳහන් කළේ මෙම ගිවිසුම හරහා සෞඛ්‍ය සේවාවට වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

මේ අතර ජාතිය ගොඩනැගීමේ බද්ද, ඉඩම් පැවරීම හා අත්පත් කර ගැනීම සම්බන්ධ නියමනයන් කිහිපයක් පිළිබඳ විවාදය හෙට (18) පැවැත්වීමට නියමිතයි. එමෙන්ම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හෙළි කළ වාර්තාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.