රුපියල් කෝටියකට වැඩි මුදලක් සේවක වැටුපෙන් වංචාකළ නිලධාරිනියකගේ සේවය අත්හිටුවීමට අනුරාධපුර මහ නගර සභාව කටයුතු කර තිබෙනවා.
මහ නගර සභාවේ වැටුප් අංශයේ සේවය කළ ඇය විසින් එම නගර සභාවේ කාර්ය මණ්ඩල වැටුප් සැකසීමේදී මෙම වංචාව සිදුකොට ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
උතුරුමැද පළාත් ප්රධාන ලේකම්වරයාගේ උපදෙස් මත පළාත් පාලන කොමසාරිස්වරියගේ අධීක්ෂණය යටතේ අනුරාධපුර මහ නගර සභාවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් සිදු කර ගෙන යන මූලික විමර්ශන වලදී 2015 වසරේ සිට ඇය විසින් වැටුප් මුදල් වංචාව අඛණ්ඩව සිදුකර ගෙන ගොස් ඇති බව හෙළි වී ඇත. එම නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයකු ලෙසට සේවයෙහි නියුතු ඇයගේ සැමියාගේ ද සහයෝගය සහ අනුදැනුම මත මෙම මුදල් වංචාව සිදුකොට ඇති බවත් විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.
මේ අතර ඇය විසින් එකී වැටුප් මුදල් වංචාවට එම නගර සභාවේ සේවයෙහි නියුතු තවත් කාන්තාවන් දෙදෙනකු ද හවුල් කරගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.
විමර්ශන කටයුතු ආරම්භ කිරීමත් සමග මීට සම්බන්ධ බව කියන සියලු දෙනාගේම වැඩ තහනම් කොට තිබෙනවා.
මෙම වැටුප් මුදල් වංචාවේ මහ මොළකාරිය විසින් වංචා කරන ලද මුදල්වලින් මේ වනවිට සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවත් ඊට අමතරව රුපියල් තිස් පන් ලක්ෂයක මුදලකට අනුරාධපුර නගරයේ ගුවන්තොටුපොළ මාර්ගය අසලින් මෑතකදී ඉඩමක් මිලදී ගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෑතකදී තම සැමියා සහ දරුවන් දෙදෙනා සමග නුවරඑළිය ප්රදේශයේදී හෙලිකොප්ටරයකින් ගුවන් සංචාරයක ද නිරත වී ඇති බවත්, එහිදී උපන්දින සාදයක් ද පවත්වා ඇති බවත් අනාවරණය වී ඇත.